ඇලි හත උඩ රැයක්...

ශ්‍රී පාද ස්වභාව රක්ෂිතයේ එක පැත්තක් මායිම් වෙන්නේ දැරණියගල මාලිබොඩ ට. එහෙ තියනවා සංචාරකයින් අතර එතරම්ම ජනප්‍රිය නැති ඇලි හත කියලා දිය ඇලි ටිකක්. මේ ඇලි හත එච්චරම ප්‍රසිද්ධ නැති උනාට ඇලි හත කියන්නේ ලංකාවේ ඉතාම සුන්දර හා සුවිශේෂී දිය ඇලි අතුරින් ප‍්‍රමුඛත ම දිය ඇලි ටිකක්. එක දිගට ඇලි හතක් ලෙස ඇඳ හැලෙන මේ ඇලි හත පටන් ගන්නේ ශ්‍රී පාද අඩවියේ තියෙන නයා ගගෙන්. සමනල අඩවියෙන් ආරම්භ වෙලා පහළට ඇඳ හැලෙන මේ ගඟ සීතාවක ගඟ හා සම්බන්ධ වී කළු ගඟට එක් වෙනවා. ඉතාමත් සුන්දර පරිසරයක පිහිටා තියෙන මේ ඇලි හත ඔයාලට ඉතාමත් සුන්දර අත්දැකීමක් ලබා දෙන බවට නොඅනුමානයි.

ඇලි හතට ඉතාමත් ආසන්නම නගරය වන්නේ උඩ මාලිබොඩ. දැරණියගල ඉදන් උඩ මාලිබොඩට යනකන් අපිට පොදු ප්‍රවාහන සේවාවන් සොයා ගන්න පුළුවන්.හැබැයි මාලිබොඩ ඉදන් රක්ෂිතය ගාවට යන්න අපිට වාහනයක් හොයා ගන්න වෙනවා.

ඇලි හත උඩටම ගිහින් ආපහු බහිනවා කියන්නේ සම්පුර්ණ දවස් දෙකක ගමනක්. ඒක හින්දා ඔයාලාට දින දෙකකට අවශ්‍ය හැම දෙයක්ම අරන් යන්න. කන බොන දේවල්, රෑ නතර වෙන්න ඕනේ දේවල් වගේම සත්තුන්ගෙන් හා සීතලෙන් ආරක්ෂා වෙන්න ඕනේ දේවලුත් ගෙනියන්න ඕනේ. උඩ මාලිබොඩ කියන්නේ එච්චරම ලොකු ටවුන් එකක් නෙමේ. ඒක හින්දා ඕනේ හැම දෙයක්ම දැරණියගල ටවුන් එකෙන් හරි ඊට කලින් හරි අර ගන්න. ඇලි හත උඩට ඝන කැලේ මැද්දේ යන එක හරිම අමාරු හරිම අනතුරුදායක ගමනක්. ඕනෑවට වඩා බඩු අර ගෙන යන්නේ නැතුව අත්‍යවශ්‍යම දේවල් ටික විතරක් අර ගෙන යන්න. අපිට මේ ගමනේදී වතුර අරගෙන යන්න නම් මහන්සි වෙන්න ඕනේ නෑ. මේ දිය ඇලි වලින් එන්නේ හරිම පිරිසිදු නැවුම් වතුර. අපිට ඒ වතුර බොන්න අර ගන්න පුළුවන්.

පළවෙනි ඇලි තුනෙන් වගේ පස්සේ එතනින් එහාට යන්න හරියට පාරක් නෑ. අපිට කැලේ අස්සෙන් පාර හදා ගෙන තමයි යන්න වෙන්නේ. තුන් වෙනි ඇල්ලට යනකන් පොඩි පාරක් වගේ තිබුනත් මේ හරියේ ඉක්මනට කැලේ වැවෙන හින්දා ඒ පාරවල් හරි ඉක්මනට වැහිලා යනවා. ඒක හින්දා ඇලි හත උඩටම යන්න හොඳට දන්න ගමේ කෙනෙක් එක්ක යන එක හරිම වැදගත්.

අපි මේ ඇලි හත බලන්න ආවේ වැස්ස කාලෙක උනත් පළවෙනි, දෙවෙනි හා තුන්වෙනි ඇලි වල වතුර මට්ටම හරිම අඩුවෙන් තමයි තිබ්බේ. ඒකට හේතුව තමයි තුන්වෙනි ඇල්ල උඩින් ගඟ හරස් කරලා පොඩි විදුලි බලාගාරයකට වතුර අරන් තියන එක. ඉතින් මේ ඇලි වල හරිම ලස්සන බලා ගන්න නම් අපිට හරවෙනි ඇල්ලට යන්නම වෙනවා.

රක්ෂිතය පටන් ගන්න තැන ඉදන් තුන් වෙනි ඇල්ල වෙනකන් එන්න අපිට ගියේ පැය භාගයක් විතර. හැබැයි තුන්වෙනි ඇල්ලේ ඉදන් හතරවෙනි ඇල්ලට යන්න පැය දෙකක් විතර යනවා. මේ අතරතුරේ පාරත් හරිම අවධානම්.

හතර වෙනි ඇල්ලයි පස් වෙනි ඇල්ලයි බලලා අපිට ඇල්ල දිගේම හය වෙනි ඇල්ල බලන්න යන්න පුළුවන්. රක්ෂිතය පටන් ගත්ත තැන ඉදන් හය වෙනි ඇල්ල ගාවට එන්න පැය හයක් විතර යනවා. මේ වෙලාව වෙනකොට කරුවල වැටීගෙන එන හින්දා අපිට හය වෙනි ඇල්ල ගාව රෑ නතර වෙන්න පුළුවන්. ඔයාලට වෙලාව තිබ්බොත් එදාම හත්වෙනි ඇල්ලට නැගලා එතන රෑ නතර වෙන්න පුළුවන්. හැබැයි, හත් වෙනි ඇල්ල ගාවට යද්දී සීතල හුගක් වැඩි වෙන හින්දා හය වෙනි ඇල්ලේ නතර වෙන එක තමා වැඩියෙන්ම හොඳ.

රෑ නතර වෙන්න ටෙන්ට් එක ගහද්දි ඇල්ලට ටිකක් කිට්ටුව ගොඩක්ම තැනිතලා නැති ටිකක් බෑවුම් හරියක් හොයා ගන්න. මේ හරියේ තියන තැනිතලා වලට රෑට ඇලි එනවා කියලා ගමේ අය කියනවා. ටෙන්ට් එක ගොඩක්ම ඇල්ල කිට්ටුවම ගහන්න යන්නත් එපා. මොකද මේ ඇලි වල එක පාරටම වතුර මට්ටම වැඩි වෙන්න පුළුවන්. මේ විදිහට හයවෙනි ඇල්ල ගාව රෑ නතර වෙලා උදේට හත් වෙනි ඇල්ල බලන්න යන්න පුළුවන්.

හත් වෙනි ඇල්ල, එහෙමත් නැත්නම් ඇලි හතේ අවසාන ඇල්ල තමා ඇලි හතේ තියන ඇති සුන්දරම දිය ඇල්ල. මේ ඇල්ලෙන් එහාට 05km ක් විතර ඈතට තියන වගුරු බිමකින් නාය ගඟ පටන් ගන්නවා කියලා තමයි ගමේ අය කියන්නේ.

අපි උඩට යද්දී ගියේ ඇල්ල දිගේ. ඇල්ල දිගේම උඩට ගියහම එක අල්ලක්වත් මග ඇරෙන්නේ නැතුව ඔක්කොම ඇලි ටික බලා ගන්න පුළුවන්. හැබැයි ආපහු පහලට බහිද්දී ඇල්ල දිගේම බහින්නේ නැතුව අපිට කැලේ මැදින් බහින්න පුළුවන්. එතකොට කැලේ තියන හුගක් විශාල ගස් එහෙම අපිට බලා ගන්න පුළුවන්. හත් වෙනි ඇල්ල උඩ ඉදලා කැලේ මැද්දෙන් පහලටම බහින්න අපිට පැය 03ක් 04ක් විතර යනවා.

ඇලි හත බලන්න යද්දී මතක තියා ගන්න ඕනේ තවත් දෙයක් තියවා. මේ ගමන යන්නේ ශ්‍රී පාද අඩවියේ හින්දා හරිම පරිස්සමින් මේ ගමන යන්න ඕනේ කියලා තමයි ගමේ අය කියන්නේ. ඒක හින්දා මස්, මාළු, මත්ද්‍රව්‍ය කිසි දෙයක් මේ ගමනට අර ගෙන යන්න එපා.

මේ ඇලි සියල්ලම ශ්‍රී පාද වැසි වනාන්තරයේ පිහිටලා තියන නිසා මේ ගමන යන්න කලින් කාලගුණය ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. වැසි සමයේදී හරි වැස්ස දවස් වලට හරි මේ ගමන යන්න ලෑස්ති කර ගන්න එපා.

අනිත් දේ තමයි රක්ෂිතයට ඇතුල් වෙලා ටික දුරක් යනකොට ෆෝන් සිග්නල් නැති වෙලා යනවා. අපහු රක්ෂිතයෙන් එලියට එනකන් අපිට කෝල් ගන්න ලැබෙන්නේ නෑ. ඒක හින්දා ඔයාලා යන ගමන හොඳට සැලසුම් කරලා පවුලේ කට්ටියව මේ ගැන දැනුවත් කරලා යන්න.

ශ්‍රී පාද ස්වභාව රක්ෂිතයේ පිහිටලා තියන මේ සුන්දර ඇලි හත එතරම් ජනප්‍රිය එකක් නොවන හින්දාම මෙහි සුන්දරත්වය අති විශිෂ්ට අයුරුන් සුරකිලා තියනවා. ඔයාලත් මේ ඇලි හත බලන්න යනවනම් එහෙම මේ අලංකාර ස්වභාව පරිසරය විනාශ නොකර එහි තියන සුන්දරත්ව පමණක් විද ගෙන එන්න.

ඇලි හත ගමනට අවශ්‍ය දේවල්

  • රෑ කැලේ නතර වෙන්න ටෙන්ට්
  • අධික සීතලෙන් ආරක්ෂා වෙන්න ඇදුම්
  • කෑම බීම (අහාර පිසීමට පහසුකම් නොමැති නිසා පිසූ ආහාර හා ක්ෂණික අහාර ගිනියන්න)
  • සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න හැම වෙලාවේම සපත්තු හා දිග කලිසම් අදින්න
  • කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න බෙහෙත්
  • ගිනි පෙට්ටියක් / ලයිටරයක්
  • ප්ලාස්ටර් / බැන්ඩේජ් / බෙහෙත්

07 waterfalls in Maliboda
07 waterfalls in Maliboda

Contact DailyLife.lk

or drop an E-Mail to