මහනුවර දළදා පෙරහැර

පෙරහැර මාසය

පුරාතනයේ සිට පෙරහැර මාසය ලෙස හැඳින්වෙන්නේ ඇසළ මාසයයි. එයට හේතුව වන්නේ ඇසළ මාසයෙහි දිවයිනේ ප්‍රධාන විහාරස්ථාන කිහිපයක් මුල්කොට ගෙන පෙරහැර පැවැත්වීමයි. මෙසේ පැවැත්වෙන අලංකාර පෙරහැර දේශීය ජනයාගේ මෙන්ම විදේශිකයන්ගේ ද ආකර්ෂණයට ලක්වූ දේශීය සංස්කෘත අගයක් වෙනවා. මහනුවර මෙන්ම අලුත් නුවර , නවගමුව , දෙවුන්දර , රත්නපුරය , කතරගම ආදී ස්ථානවල ඇසළ පෙරහැර පැවතුනද ඉතා උත්කර්ෂයෙන් ඇසළ පෙරහැර පැවැත්වෙන්නේ මහනුවර දළදා මාලිගාව ආශ්‍රිතවය.

දළදා පෙරහැර චිරාගත සම්ප්‍රදායන්ට අනුකූලව තමයි පවත්වන්නේ. දළදා පෙරහැර පැවැත්වෙන්නේ නැකත් මුල්කරගෙන. ඊට අදාල නැකැත් පිළියෙල කිරීමේ කාර්යය භාරව සිටින්නේ නැකත් මොහොට්ටාලට ය. බොහෝ විට මෙම නැකැත් යෙදෙන්නේ ඇසළ මාසයට. ඇතැම් විටක මෙය ඇසළ- නිකිණි දෙ මාසයටම අදාළ වෙනවා.

නුවර පෙරහැර , සෙංකඩගල පෙරහැර , සිරි දළදා පෙරහැර , මහනුවර පෙරහැර , මාලිගා පෙරහැර , කන්ද උඩරට පෙරහැර සහ ඇසළ පෙරහර යනුවෙන් මෙම මහනුවර දළදා මාලිගාවේ පැවැත්වෙන පෙරහැර හැඳින්වෙනවා.

චිරාගත සම්ප්‍රදායට අනුව දළදා මාලිගාවේ පෙරහැර පවත්වා අවසානයේ දී දිය කැපිය යුතු වෙනවා. දියකැපුම් මංගල්‍යයෙන් පසුව කන්ද උඩරටට අයත් සෙසු විහාර හා දේවාල වල පෙරහැර පැවැත්වීම ආරම්භ වෙනවා. කන්ද උඩරටට මෙම සමය පෙරහැර මංගල්‍ය සමයකි. එමනිසා අපේ පැරැන්නෝ ඇසළ මාසය “පෙරහැර මාසය” ලෙස හඳුන්වනවා.

දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීම

බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් අටකට වඩා වැඩි කාලයක් කලිඟු රට පූජෝපහාරයන් ට ලක් වෙමින් පැවැති දළදා වහන්සේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී පමණ මෙරටට වැඩම වීමට හේතු වී ඇත්තේ ඒ වෙනුවෙන් හටගත් යුදමය වාතාවරණය නිසා බව පැහැදිලි වෙනවා.

දන්ත ධාතුන් වහන්සේ ගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳව ඇසූ දඹදිව ප්‍රාදේශීය පාලකයන් දන්තධාතුව අයත් කරගැනීමට සේනාව සමඟ දන්ත පුරයට ආවා. එවකට දන්ත ධාතුව ගුහසීව රජු භාරයේ පැවතියා. මගේ දිවි තිබෙන තුරු දළදාව සතුරන්ට නොදෙන්නෙමි සිතූ ගුහසීව රජු තමා යුද්ධයෙන් පරාජය වුවහොත් දෙව් මිනිසුන් විසින් පුදනලද දළදාව රැගෙන ලක්දිවට යන ලෙස තම බෑණනුවන්ට පවසා සිටියා. එහෙත් මහ සයුරෙන් එතෙර පිහිටි සිංහල දේශයෙහි සිටින්නේ ඔබගේ හෝ මාගේ නෑයන් නොවේ යැයි පැවසූ දන්ත කුමරු ඒ පිළිබඳව සැක උපදවා ගත්තා. සිංහල දේශයේ මිනිස්සු බුදුරදුන් කෙරෙහි සැදැහැති බෞද්ධයෝය. ආරක්ෂාව සඳහා දළදාව ගෙණ ගොස් දෙන්නැයි දළදාව භාරව සිටි දන්ත කුමරුට කලිඟු රජ තෙමේ පැවසූ බව දාඨාවංශයේ පැවසෙනවා.

මෙසේ දඹදිව කාලිංග දේශයෙන් මෙරටට වැඩම කළ දළදා වහන්සේ අනුරාධපුරයට වැඩමවා පුද පූජා පැවැත්වීම පිණිස දළදා ගේක වඩා හිඳ වූ බව ඓතිහාසික තොරතුරු පෙන්වා දෙනවා. ලක්දිව දළදා පෙරහැර ඉතිහාස පුවත ආරම්භ වන්නේ ක්‍රිස්තු වර්ෂ 301- 328 දක්වා රජකම් කළ කිත්සිරිමෙවන් රජතුමාගේ කාලයේදීය.

දළදා මැදුරු ඉදිවීම

ඓතිහාසික තොරතුරු වලට අනුව කීර්ති ශ්‍රී මේඝවන්න රජතුමා මුලින්ම දළදා මන්දිරයක් ඉදිකර එහි ශ්‍රී දළදා වහන්සේ තැන්පත්කර ඊට ගරු බුහුමන් දැක්වීම සඳහා වාර්ෂික පෙරහැර සම්ප්‍රදායක් ද ඇති කළේය. ඉන්පසුව අනුරාධපුර අභයගිරි විහාරයට දළදා වහන්සේ පෙරහැරින් වැඩමවා පුද සත්කාර කර තිබෙනවා. ඒ කාලයේ දළදා පෙරහැර ඉතා අලංකාර වූවක් බව හියුං සියෑං භික්ෂුවගේ වාර්තාවල සඳහන් වෙනවා.

මහාවංශය ප්‍රධාන ඓතිහාසික සාධක පෙන්වා දෙන පරිදි දළදා පෙරහැර ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබෙනවා. පරසතුරු ආක්‍රමණ නිසා රාජධානි මාරුවීමත් සමඟ දළදා වහන්සේ අනුරාධපුරයෙන් පොළොන්නරුවට , දඹදෙණියට , යාපහුව ට, කුරුණෑගලට , ගම්පොළට හා කෝට්ටේ යන රාජධානි වලට වැඩම කරවා ඒ ඒ රාජධානියෙහි දළදා මැඳුර ඉදි කරවා හැකි පමණින් දෛනික පූජා පැවැත්වීමත් වාර්ෂික පෙරහර මංගල්‍යය සිදු කිරීමත් කර තිබෙනවා. සියලු රාජධානිවල දී දැකගත හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ දළදා වහන්සේට මුල් තැනක් දී කටයුතු කිරීම ය.

සෙංකඩගල දළදා මාළිගය ඉදි වීම

පළමුවෙනි විමලධර්මසූරිය රජතුමා රාජ්‍යත්වයට පැමිණීමත් සමග ක්‍රිස්තු වර්ෂ 1592 දී සෙංකඩගල නුවර සිංහල රාජධානිය ආරම්භ විය. ඒ වන විට දළදා වහන්සේ සබරගමු පළාතේ දෙල්ගමු රජමහ විහාරයේ ඉතා රහසිගත ලෙස වැඩ සිටියේය. මෙසේ දෙල්ගමුවේ රහසිගතව වඩා හිඳුවාගෙන දෛනික පුද සත්කාර කරමින් සිටි දළදා වහන්සේ රජු ඊට අවශ්‍ය ආරක්ෂාව ලබාදී සෙංකඩගලපුරට වඩමවා ගෙන ආවේය. වත්මන් දළදා මැදුරට අඩිතාලම වැටුණේ ඉන් පසුවය.

දළදා පෙරහැර

පරම්පරානුගතව පැවත එන නර්තන වාදන හා රංගන අංග රාශියකින් හා ඉපැරණි චාරිත්‍ර වලින් සමන්විත වන පෙරහැර ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබිඹු කරන උත්සවයක් ලෙස සැලකෙනවා . අපේ ඇසල පෙරහැර පැරණි ඉන්දියාවේ පැවැති ආෂාඨ උත්සව හෙවත් ඇසළ කෙළියේ පරිණාමයෙන් ඇතිවූවක් ලෙස සැලකෙනවා. මහනුවර ඇසළ පෙරහර වර්තමාන මුහුණුවර ගෙන ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙහි පටන් බව සැලකෙනවා.

වර්තමාන මහනුවර ඇසළ පෙරහරේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ 18 වන සියවස මැද භාගයේ දී පමණ සිදුවන්නට ඇතැයි සැලකෙනවා. ඊට ඇතුළත් වූයේ නාථ , කතරගම , විෂ්ණු , පත්තිනි යන සතර දේවාලයේ පෙරහැර පමණි. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජු ( ක්‍රිස්තු වර්ෂ 1747 - 1782) විසින් එකී සතර පෙරහරට දළදා මාලිගාවේ පෙරහරක් ද එක් කිරීම හේතුවෙන් ඇසළ පෙරහරට බෞද්ධ මුහුණුවරක් ලැබුණා සේ සැලකෙනවා. ඒ අනුව වර්තමාන දළදා පෙරහැරේ ආරම්බය කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙහි සිදූ වුවා සේ සැලකීම ඉතාම සුදුසුය.

පැරණි දළදා පෙරහර සංස්කෘතිකාංග ප්‍රදර්ශනයට වඩා රාජ්‍ය බලය පෙන්වීමේ අවස්ථාවක් කරගෙන තිබෙනවා. එවකට ලංකාවේ ආණ්ඩුකාරයා වූ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්ගේ අවසරය පරිදි 1828 මැයි 29 වන දින පැවැත්වුණු දළදා පෙරහැර ආරම්භ වී ඇත්තේ යුද්ධ ආචාර මධ්‍යයේය.

කප් සිටුවීම

දළදා මාලිගාවේ “නැකත් මොහොට්ටාල” විසින් නියම කරනු ලබන සුබ මොහොතින් කප්සිටුවීමෙන් පෙරහර ආරම්භ වෙනවා. කප් සිටුවීම යනු සතර දේවාලයේ පිරිසක් ඇසළ මස අමාවක දිනට දින කිහිපයකට පෙර අලුත්නුවර දේවාල භූමියෙන් හෝ ඊට තදාසන්න උචිත දේවාල බිමකින් වියත් තුනක වට ප්‍රමාණයකින් සමන්විත පල නොදැරී නෑඹුල් කොස් ගසක් තෝරාගෙන එම කොස් ගසට පුද පූජා පවත්වා එහි අරක් ගත් දෙවියෙක් වේ නම් ඉවත්ව යන ලෙස ආයාචනා කොට ගස කපා එහි කදෙන් රියන බැගින් දිගැති කොටස් හතරක් කපාගෙන දේවාල සතරට බෙදාගෙන පෙරහැරෙන් ගෙන ගොස් දේවාල භූමියෙහි සිටුවීමයි.

දේවාල පෙරහර

සතර දේවාලයේ කපුවන් දේවාලයට අයත් රන් ආයුධ කප වටා වැඩම කරවන කුඩ , කොඩි , සේසත් , දවුල් , හොරණෑ සහිත පෙරහැර “දේවාල පෙරහර” ලෙස හැඳින්වෙනවා. මේ සඳහා අලි ඇතුන් හෝ පෙරහැර ශිල්පීන් වස්ත්‍රාභරණයෙන් සැරසීමක් සිදු නොවෙනවා. දේවාල රාජකාරි සිදු කරන ඇඳුම්වලින් සැරසී දේවාල පෙරහරට සහභාගි වෙනවා. තවත් සුවිශේෂී කරුණක් වන්නේ මේ සඳහා බැතිමතුන් සහභාගි කර නොගැනීමයි. මෙම දේවාල පෙරහැර පුරා දින පහක් සිදු කෙරෙනවා.

කුඹල් පෙරහර

දේවාල පෙරහැර පවත්වා පස් වන දිනයේ සිව් දේවාලයේ බස්නායක නිලමේ වරුන් ඇතුළු නිලධාරීහු රන්සිවි ගෙයක රන් ආයුධ හිඳුවා රන්සිවිගෙය ඇතු පිට තබා පෙරහරෙන් අවුත් දළදා මාලිගාව ඉදිරිපිට දේව සංහිඳේ දී දළදා කරඬුව සහිත රන්සිවිගෙය වැඩමවන මාළිගාවේ ඇතා ප්‍රමුඛ පෙරහැර පෙරටු කරගෙන දින පහක් වීදි සංචාරය කරනවා. මෙය “කුඹල් පෙරහර” නමින් හැඳින්වෙනවා. මෙහිදී කුඹල් පෙරහර සඳහා දියවඩන නිලමේතුමා සම්පූර්ණ රාජකාරි ආයිත්තම් වලින් හැඩ ගැන්වීමෙන් තොරව සහභාගි වෙනවා. තවද පෙරහර ශිල්පීන් ලෙස නැට්ටුවන් හා වාදකයන් පළමුවරට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා ඉඩ විවර වී තිබෙන්නේ කුඹල් පෙරහැරට සහභාගිවීම ඔස්සේය. ඒ නිසා මෙය “අඩක් නිම වූ පෙරහර” යනුවෙන් ද හැඳින් වෙනවා. කුඹල් පෙරහර ලෙස නම යෙදුණේ අතීතයේ එක් කලෙක පළමු දළදා පෙරහර වීදි බැසීමට පෙර අලුත් වළං කදක් රැගත් කුඹලෙකු එනම් වළන් කත් කරුවෙකු පෙරහරේ ඉදිරියෙන් ගමන් කළ නිසා බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා . පෙරමුණේ රාල , ගජනායක නිලමේ , කාරියකරවන රාළ , දියවඩන නිලමේ ආදී නිලධාරීන්ද කසකරුවන් , කොඩි , සේසත් , පන්දම් දරන්නන් , පාවාඩ එලන්නන් , දවුල් , බෙර, හොරනෑ ආදිය වයන්නන් , නැට්ටුවන් , පන්තේරුකරුවන් ආදීන්ගෙන් මේ පෙරහර සමන්විත වෙනවා.

රන්දෝලි පෙරහර

පුරා දින පහක් කුඹල් පෙරහර පැවැත්වීමෙන් පසුව එළඹෙන්නේ “රන්දෝලි පෙරහර” වීදි බැසීමයි. සතර දේවාලයන්හි දේවාභරණ වැඩමවන වාහන (රන්දෝලි) කුඹල් පෙරහරේ පස්වන දින යෙදී පෙරහැර අගට එක් කෙරෙනවා . එය “රන්දෝලි පෙරහර” නමින් හැඳින්වෙනවා. එයද පුරා දින පහක් නොකඩවා සිදු කෙරෙනවා. දළදා පෙරහැරේ කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැකි මෙම පෙරහර හේවිසි කරුවන් හා හොරණෑ කරුවන් , නැට්ටුවන් , අලි ඇතුන් ආදීන් ගෙන් ප්‍රමාණාත්මකව කුඹල් පෙරහැරට වඩා විශාල වන අතර ම විචිත්‍රවත් භාවයෙන් ද අනූන වෙනවා. අවසාන දින දෙකෙහි මෙම පෙරහර අතිශය අලංකාරවත්ව පවත්වනවා. රන්දෝලි පෙරහැර යනුවෙන් මෙය හඳුන්වන්නේ මහනුවර රජ සමයේ රජුගේ අගමෙහෙසිය හෙවත් “රන්දෝලිය” ගමන් කළ නිසාය.

මහා රන්දෝලි ය

රන්දෝලි පෙරහරේ පස්වන දිනය හෙවත් අවසාන දිනය හඳුන්වන්නේ “මහා රන්දෝලි ය” යනුවෙනි.

පෙරහරට අවසර ගැනීම

පෙරහැර ආරම්භ වන්නේ දියවඩන නිලමේතුමා නිසි අවසරය ලබා දීමෙන් පසුවය. එම නිසා දළදා පෙරහැර භාරව කටයුතු කරන කාරිය කරවන කෝරාළ , ගජනායක නිලමේ , කපුරාල වරු , ගම් දහයේ විදානේවරු , කම්කානම් රාළ , මොහොට්ටාල සහ වට්ටෝරුරාලලා පෙරහර ආයිත්තම් වලින් සැරසී දියවඩන නිලමේතුමා හමුවීමට පැමිණෙනවා. එය දියවඩන නිලමේතුමාගේ කාර්යාලයේ දී සිදු වෙනවා. දළදා තේවාව භාර සියලු නිලධාරීන් දියවඩන නිලමේතුමා ගෙන් අවසර හා ආශිර්වාද ලබාගැනීමෙන් පසුව දියවඩන නිලමේතුමා පෙරමුණේ රාල අතට “ලේකම්මිටිය” ද ගජනායක නිලමේ වෙත “රන් අංකුසය” ද පිරිනමනවා.

පෙරහැර වෙඩිමුර

සෑම දිනකම පෙරහැර පිටවීමට ප්‍රථම වෙඩිමුර තුනක් තබනවා. පළමු වෙඩිමුරය නිකුත්වීමත් සමගම සිව් මහා දේවාලවල පෙළ ගැසී සිටින සියලු පෙරහැර ශිල්පීහු සහ අලි ඇත්තු නියමිත පිළිවෙලට පැමිණ මාලිගාවේ පෙරහැර හා සම්බන්ධ වෙනවා.

දෙවැනි වෙඩි මුරය නිකුත් වන්නේ පළමු වැන්න නිකුත් වී මද වේලාවකට පසුවය. එයින් අදහස් කරන්නේ පෙරහැර සධාතුක කරඬුව ඇතුපිට රන්හිලිගෙයි තැන්පත් කළ බව ය. ඒ කටයුත්ත පැවරී තිබෙන්නේ දිය වඩන නිලමේතුමාටය.

තෙවැනි වෙඩි මුරය නිකුත්වන්නේ රන්හිලිගේ සහිත මංගල හස්තිරාජයා දළදා පෙරහරට එකතු වීමෙන් අනතුරුව පෙරහර ආරම්භ කළ බව දැනුම් දීමටය.

පෙරහරට එකතු වන අනෙකුත් අංගයන් පිළිවෙලින්,

  • කස කරුවන්
  • බෞද්ධ කොඩි කරුවන්
  • පලාත් කොඩි කරුවන්
  • අසිපත් ධාරීන්
  • ගිනිබෝල කරුවන්
  • පෙරමුණේ රාල
  • පනික්කියන්
  • ගජනායක නිලමේ
  • මගුල් බෙර කරුවන්
  • ඇත් පන්ති
  • පොල් මල් නැට්ටුවන්
  • හොරණෑ කරුවන්
  • තම්මැට්ටම් කරුවන්
  • දවුල්කරුවන්
  • තාලම්පොට කරුවන්
  • පතුරු නැට්ටුවන්
  • සවරන් නැට්ටුවන්
  • ලී කෙලි නැට්ටුවන්
  • පන්තේරු නැට්ටුවන්
  • හවඩි දඟයා
  • වේවැල් වියන්නන්
  • උඩැක්කි කරුවන්
  • රබන් නැට්ටුවන්
  • ගැට බෙර කරුවන්
  • නෛයන්ඩි නැට්ටුවන්
  • උඩරට වෙස් නැට්ටුවන්
  • කාරිය කෝරාළ
  • නාගසිංගම් වාදනය
  • මංගල හස්තියා
  • දෑලේ ඇතුන්
  • කවිකාර මඩුව
  • දියවඩන නිලමේතුමා
  • නාථ දේවාල පෙරහැර
  • විෂ්ණු දේවාල පෙරහර
  • කතරගම දේවාල පෙරහැර
  • පත්තිනි දේවාල පෙරහැර

දළදා වීදිය , යටිනුවර වීදිය , හරස් වීදිය , කොටුගොඩැල්ල වීදිය , කන්දෙ වීදිය , ඩී එස් සේනානායක වීදිය ඔස්සේ නුවණ නගරයේ වීදි දිගේ ගමන් කරනු ලබන පෙරහැර අවසානයේ දී දළදා වහන්සේ වැඩමවා ගෙන දළදා මාලිගාවට පිවිසෙනවා. එය පෙරහර ගෙවදීම ලෙස හැඳින්වෙනවා. දළදා පෙරහර අවසන් වන්නේ සධාතුක කරඬුව රැගත් ඇතු දළදා මාලිගාවට පිවිස එයින් සධාතුක කරඬුව යළි දළදා වහන්සේ වැඩසිටින කුටියට වැඩම කරවීමෙනි. එවිට මාලිගා පෙරහර අවසන් වූ බව සැලකෙනවා. ඊට ගෞරවය සඳහා දළදා වහන්සේට ගිලන්පස පූජා කිරීම ඉන් අනතුරුව සිදු කෙරෙනවා.

මෙලෙස සියලු ගෞරවයන් සහිතව ශ්‍රී දළදා පෙරහැර නිමා වීමෙන් පසුව දියවඩන නිලමේතුමා සිව් දේවාලවල බස්නායක නිලමේවරුන් සමග රාජ්‍ය නායකයා වන ජනාධිපතිතුමා හමුවී පෙරහැර නිසි පිළිවෙත් ප්‍රකාරව සිදු කළ බව දන්වා සිටිනවා. ඒ නිල කටයුත්ත සිදු වන්නේ නුවර දලදා මාලිගාව සමිපයේ තිබෙන ජනාධිපති මන්දිරයේ දී ය.

Photo Courtesy:

  • Richard Shaw - https://www.flickr.com/photos/richardmichaelshaw/4957569750/
  • Ramya - https://www.flickr.com/photos/simplylk/10310663103/

Contact DailyLife.lk

or drop an E-Mail to