කැනඩාවට යන්න හොඳම විදිහ...

මේ දවස් වල රටේ තියන තත්වෙත් එක්ක ගොඩ දෙනෙක් බලන්නේ වෙන රටකට පැන ගන්නේ කොහොමද කියලා. සමහර අයට ඇත්තටම වෙන රටකට යන්න අවශ්‍ය තරම් සුදුසුකම් තිබ්බත් ඒක හරියට කර ගන්න තරම් දැනුමක් නෑ. Migration agents ලා ඉල්ලන ගිනි ගණන් නිසා සමහරු ඒ ගැන හිතන්නෙවත් නෑ. හැබැයි ගොඩක් රටවල් වල ස්ථිර පදිංචිය ගන්න අයදුම් කරන්න ඕනේ හැටි ඒ රටවල් වල රජයේ වෙබ් අඩවි වල පැහැදිලිවම දාලා තියනවා. පොඩ්ඩක් මහන්සිවෙලා විස්තර හොයා ගත්තොත් අපිට මේකේ පලවෙනි පියවර තනියෙන්ම කර ගන්න එක එච්චර අමාරු වැඩක් නෙමේ.

කැනඩාව කියන්නේ ගොඩ දෙනෙක් ස්ථිර පදිංචිය සඳහා අයදුම් කරන රටක්. ඒකට හේතු දෙකක් තියනවා. කැනඩාව විශාල වශයෙන් පිට රට කට්ටියට ස්ථිර පදිංචිය ලබා දෙනවා. අනිත් දේ තමයි එයාලගේ මේ සඳහා අයදුම් කරන විදිහ හරිම පැහැදිලි සහ ලේසියි. මගේ යාළුවෙක් කිසිම නියෝජිතයෙකුගේ උදව්වුක් නැතුව තනියම අයදුම් කරලා එයාට කැනඩාවේ ස්ථිර පදිංචිය හම්බ උනා. එයාගෙනුත් විස්තර අහගෙන ඉන්ටෙර්නෙට් එකේ තියන දේවලුත් කියවලා බලලා තමයි මමත් කැනඩාවට අයදුම් පත දැම්මේ. මේ දවස් වල ගොඩක් අය මේ පැත්තෙන් විස්තර හොයන හින්දා මට හිතුනා මම මේකට අයදුම් කරපු හැටි ඔයාලත් එක්ක බෙදා ගන්න.

කැනඩාවේ ස්ථිර පදිංචියට එක එක විදිහට අයදුම් කරන්න පුළුවන්. මුලිකවම වෙන රටක ඉදන් අයදුම් කරන කොට අයදුම් කරන ක්‍රමය තමයි "Express Entry System" එක. මුලින්ම අපි කරන්න ඕනේ දේ තමයි කැනඩා ස්ථිර පදිංචිය සදහා අයදුම් කරන්න අපිට අවශ්‍ය තරම් සුදුසු කම් තියනවාද කියලා බලන එක. මේක ප්‍රධාන වශයෙන්ම වෙන්නේ ලකුණු ක්‍රමයක් මත. අපේ වයස, අධ්‍යාපන සුදුසුකම්, ඉංග්‍රීසි දැනුම, රැකියා පළපුරුද්ද, විවාහක නම් විවාහක පුද්ගලයාගේ විස්තර වගේ දේවල් මත තමයි මේකෙදි ලකුණු දීම කරන්නේ. ඔයාලගේ සුදුසු කම් අනුව ඔයාලට එන ලකුණු ප්‍රමාණය මේකෙන් බලා ගන්න පුළුවන්. මේ ලින්ක් එකේ ඔයාගේ විස්තර ටික දාපුවහම ඔයාට ලකුණු කීයක් හම්බ වෙනවද ඒ ලකුණු ප්‍රමාණය ස්ථිර පදිංචිය සඳහා අයදුම් කරන්න ඇතිද කියලා එනවා.https://www.cic.gc.ca/english/immigrate/skilled/crs-tool.asp

ඔයාගේ ලකුණු ප්‍රමාණවත් නැත්නම් ලකුණු ප්‍රමාණය වැඩි කර ගන්න කරන්න පුළුවන් මොනවද කියලා බලන්න. ඉංග්‍රීසි දැනුම වැඩි කර ගන්න එක, මාස්ටර් ඩිග්රී එකක් කරන එක, ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න එක වගේ දේවල් වලින් ලකුණු වැඩි කර ගන්න පුළුවන්. ලකුණු වැඩි වෙන තරමට තමයි අපිව ස්ථිර පදිංචියට තෝරා ගන්න චාන්ස් එක වැඩි වෙන්නේ.

ඔයාගේ ලකුණු ප්‍රමාණය ඇති නම් ඔයාට මුලින්ම කරන්න තියන දේ තමයි අපේ අධ්‍යාපන සුදුසුකම් ටික කැනඩාවේ කොපමණ දුරකට පිළිගන්නවද කියලා බලන එක. මේක මුලින්ම කරන්න ඕනේ හේතුව තමයි අපේ සුදුසුකම් ටික සහතික වෙලා එන්න මාසයක් එක හමාරක් විතර යනවා. මේකට ඔයාලා කැමති පිළිගත් ආයතනයක් තෝරා ගන්න පුළුවන්. අපි කලේ WES (World Education Services) එකෙන්.https://www.wes.org/

WES එකේදී ඔයාලට කරන්න තියෙන්නේ මේකේ එකවුන්ට් එකක් හදාගෙන ඔයාලගේ අධ්‍යාපන සුදුසුකම් ටික ඇතුලත් කරන එක. ඊට පස්සේ ඔයාලට ඒ සඳහා අදාල ගාන ගෙවන්න ඕනේ. අදාළ මුදල ගෙව්වට පස්සේ ඔයාලට WES එකෙන් reference number එකක් හම්බ වෙනවා. දැන් ඔයාලා මේ reference number එකත් එක්ක ඔයාලා අධ්‍යාපන සුදුසුකම ලබා ගත්ත ආයතනයට යන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාලා රජයේ කැම්පස් එකක ඩිග්රී එකක් කරලා තියනවා නම්, අදාළ කැම්පස් එකට ගිහින් විස්තරය කිව්වහම එයාලා ඔයාලට පොඩි ෆෝරම් එකක් පුරවන්න දෙනවා. මේ සඳහාත් කැම්පස් එකෙන් හරිම පොඩි ගානක් අය කරනවා. මෙතැනදී මතක තියා ගන්න ඕනේ දෙයක් තමයි ඔයාලා මේ සහතික ටික WES එකට යවලා හරි යන්නේ නෑ. කැම්පස් එකෙන් එයාලම තමයි අරින්න ඕනේ. O/L , A/L වගේ සහතික ගන්න ඕනේ නම් ඉසුරුපායට යන්න ඕනේ. පවුද්ගලික ඩිග්රී එකක් කරලා තියනවනම් ඒ අදාළ ආයතනයට ගිහින් අහන්න. WES එකෙන් ඔයාලගේ සුදුසුකම් ටික සහතික කලාට පස්සේ වෙනමම reference number එකක් එක්ක ඔයාලට ලියුමක් එවනවා. මේ reference number එක ඕනේ වෙනවා Express Entry ෆෝරම් එක පුරවන්න.

අධ්‍යාපන සුදුසුකම් ටික සහතික වෙලා එනකන් ඊළගට කරන්න තියෙන්නේ පිළිගත් ඉංග්‍රීසි සහතිකයක් ගන්න එක. එකට ගොඩක් වෙලාවට අපි ලංකාවේ කරන්නේ IELTS හරි PTE විභාගය හරි. ඔයාලා IELTS කරනවා නම් පුළුවන් තරම් අඩුම ගානේ Listening - 8, Reading - 7, Writing - 7 , Speaking - 7 වත් ගන්න උත්සාහ කරන්න. එතකොට වැඩි ලකුණු ප්‍රමානයක් එකතු කර ගන්න පුළුවන්. මීට වඩා වැඩි ප්‍රතිපලයක් ගන්න පුළුවන් නම් තවත් හොදයි.

IELTS පාස් උන reference number එකයි WES එකේ reference number එකයි ආවාට පස්සේ ඔයාලට පුළුවන් Express Entry එකට අයදුම් කරන්න.https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/express-entry/submit-profile.htmlමේ ලින්ක් එකට ගිහින් ආයෙත් ඔයාගේ හරි විස්තර ටික දාලා ඔයා අයදුම් කරන්න සුදුසුද කියලා බලන්න. ඔක්කොම ටික පිරවුවාට පස්සේ ඔයාට මේකේ අන්තිමට හම්බ වෙනවා reference number එකක්. මේ නොම්බරේත් ඔයාට ඕනේ වෙනවා අයදුම් කරන්න.

අන්තිමටම කරන්න තියෙන්නේ මේ ලින්ක් එකෙන් එකවුන්ට් එකක් හදලා ඔක්කොම විස්තර ටික දාලා ස්ථිර පදිංචියට අයදුම් කරන එක.https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/application/account.html මේකෙදි තවත් වැදගත් දෙයක් තමයි ඔයාලාගේ රැකියාව අදාළ වෙන අංකය එහෙමත් නැත්නම් NOC එක හරියමට තෝරා ගන්න එක. ඒක ඔයාලට හරියමට බලන්න පුළුවන් මේ ලින්ක් එකෙන්.https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/express-entry/eligibility/find-national-occupation-code.htmlඑයාලා සති දෙකකට පාරක් දිනුම් ඇදීම තියන කොට විශේෂයෙන්ම සලකලා බලන දෙයක් තමයි මේ NOC එක. එයාලා හැම වෙලේම බලන්න ඉස්සරහට ඉල්ලුම වැඩි ජොබ් මොනවද කියන එක. කැනඩාවේ ඉල්ලුම තියන ජොබ් එකක ඔයා ඉන්නවනම් ඔයාලට ඉන්විටේෂන් එකක් එන්න ලොකු චාන්ස් එකක් තියනවා. ඔයාලා මේ අයදුම් කරන එක වලංගු වෙන්නේ අවුරුද්දක් විතරයි. අවුද්දකින් ඔයාලට මුකුත් ආවේ නැත්නම් ඔයාලට පුළුවන් ආයෙත් අලුතෙන් අයදුම් කරන්න. ඔයා විවාහක කෙනෙක් නම් ඔය දෙන්නටම වෙන වෙනම අයදුම් කරන්න පුළුවන්. ඔයාලා එක්කෙනක් විතරක් දාන්න හිතා ගෙන ඉන්නවනම් CRS එකේ ලකුණු වැඩියෙන්ම එන කෙනා දාන්න.

අනිත් දේ තමයි ඔයාලාට තියන ලකුණු ප්‍රමාණය අඩු නම් ප්‍රධාන ප්‍රදේශ හැර දුර තියන අනෙකුත් ප්‍රදේශ වලත් ඔයාලා ඉන්න කැමතියි කියලා සදහන් කරන එක. තවත් ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි Provincial Nomination දාන එක. ගොඩක් අය මේ සඳහා යොමු වෙන්නේ නැත්තේ Provincial Invitation එකක් එන්න අවුරුදු දෙකක් විතර ලොකු කාලයක් යනවා. අනිත් දේ තමයි මේවට අයදුම් කරන්න ගොඩක් වෙලාවට ඒ ප්‍රදේශයේ ජොබ් එකක් අපිට ලැබිලා තියෙන්න ඕනේ. ඒ ඒ ප්‍රදේශ වලට තෝරා ගන්න එයාලගේ වෙනමම තෝරා ගැනීමේ ක්‍රියාවලියක් තියනවා. ගොඩක් වෙලාවට ප්‍රදේශ වලින් කට්ටිය ගන්නෙත් Express Entry එකෙන්ම තමයි. හැබැයි ඔයාලට පුළුවන් Saskatchewan Provincial Nominee Program එකට ජොබ් එකක් නැතුව වෙනමම අයදුම් කරන්න.

ස්ථිර පදිංචියට අයදුම් කලාට පස්සෙත් ඔයාලට පුළුවන් ඕනේ වෙලාවක මේ අයදුම් පත වෙනස් කරන්න. ඔයා අයදුම් කරලා තියන අතරතුරේදී ඔයා ආයෙත් IELTS'කරලා තිබ්බට වඩා හොඳ ලකුණක් ගත්තොත්, ඔයා මොකක් හරි තවත් අධ්‍යාපන සුදුසුකමක් සම්පුර්ණ කලොත් වගේ ඒ විස්තර ටික මේකට ආයෙත් දාන්න පුළුවන්. අයදුම් කරලා ඉන්න අතරේ කරන්න තියන හොඳම දේ තමයි කොහොම හරි තව ලකුණු ටිකක් වැඩි කර ගන්න විදි ටිකක් බලන එක.

අනිත් දේ තමයි PR වලට අයදුම් කලාට පස්සේ ඔයාට කැනඩා ජොබ් වලට අයදුම් කරන්න පුළුවන්. හැම කෙනෙක්ටම හරි යන්නේ නැති උනත් ඔයා විශේෂ සුදුසු කම් තියන කෙනෙක් නම් සමහර විට ඔයාට ලංකාවේ ඉදන්ම ජොබ් එකක් හොයා ගන්න බැරි කමකුත් නෑ. ආයතනයකට ජොබ් එකක් දීලා පිට රටකින් කෙනෙක් ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමේ. ඒ සඳහා ඒ ආයතනය සෑහෙන වැඩ කොටසක් ඒ රටේ රජයත් එක්ක කරන්නන ඕනේ. මේ ක්‍රියාවලිය දැනටම සම්පුරණ කරපු ආයතන තියනවා. කැනඩා ජොබ් සර්ච් එකේ ඔයාලට මේ ආයතන වෙනමම වෙන් කරලා ගන්න පුලුවන්. ඒ වගේ ආයතන වල ජොබ් වලට දාලා බලන්න. බැරි වෙලාවත් ඔයාලට කැනඩාවේ ජොබ් ඔෆර් එකක් හම්බ උනොත් කෙලින්ම ලකුණු 600ක් ඔයාට එකතු වෙනවා.

Express Entry එකට අයදුම් කළා කියන්නේ PR වලට අයදුම් කළා කියන එක නෙමේ. අපි මේකෙදි කරන්නේ අපි කැනඩා ස්ථිර පදිංචියට එන්න කැමති කියලා ප්‍රකාශ කරන එක (EOI – Expression Of Interest). ඒ සඳහා අයදුම් කරන්න අපිව තේරුනොත් එයලාඅ අපිව ඊ මේල් එකක් මගින් ඒ ගැන දැනුවත් කරනවා. ඊට පස්සේ තමයි අපි හරියටම ස්ථිර පදිංචියට අයදුම් කරන්නේ. අපි හරියටම අයදුම් කලාට පස්සේ තමයි කැනඩා රජයෙන් තීරණය කරන්නේ අපිට ස්ථිර පදිංචිය දෙනවද නැද්ද කියන එක.

මම කැනඩා PR වලට දැම්මේ කොරෝනා පටන් අරන් ටික දවසක් ගියාට පස්සේ. කොරෝනා කාලේදී එයාලා වෙන රටවල් වලින් කට්ටිය ගත්තෙත් නැති නිසා කොහොම හරි මගේ අයදුම් පත අවුරුද්දක් පහු වෙලා කල් පැනලා ගියා. හැබැයි දැන් මේ අවුරුද්දේ ජුලි මාසේ ඉදන් එයාලා පිටින් කට්ටිය ගන්න සැලසුම් කරලා තියන හින්දා මේකට නිකන් හරි අයදුම් කරලා තියන එක ගොඩක් හොදයි. මේ දවස් වල ලංකාවේ තියන ප්‍රශ්නත් එක්ක කැනඩා PR එනකන් ඉන්නේ නැතුව මොකක් හරි වෙන ක්‍රමේකින් වෙන රටකට යන්න අපි බැලුවා. කොහොම කොහොම හරි වාසනාවකට අපිට මේ අවුරුද්දේ ඕස්ට්‍රේලියා වට තාවකාලිකව එන්න චාන්ස් එකක් හම්බ උනා. ඒ ආපු විදිහ ගැනත් මම අනිත් ලිපියෙන් ඔයාලාට කියන්නම්.

Contact DailyLife.lk

or drop an E-Mail to