සුන්දර මාතලේ බලන්නම වටින තැන් ටිකක්

මාතලේ කියපු ගමන් එක පාරටම මතක් වෙන්නේ මාතලේ ප්‍රදේශයේ තියන ස්වභාවික සුන්දරත්වය. නගරේ රස්නෙත් එක්ක ජීවත්වෙන අපිට මාතලේ පැත්තට ගියහම ඇගට දැනෙන සනීපෙ කියල නිම කරන්න බෑ. ස්වභාවික සුන්දරත්වය වගේම අයිතිහාසික වශයෙන්ද අපේ රටට ඉතාම වැදගත් වන මාතලේ නගරයේ අපිට බලන්න සුන්දර ස්ථාන බොහොමයක් පිහිටලා තියනවා.

රිවර්ස්ටන් යන අතරමග අපිට ඉස්සල්ලාම හම්බවෙන ලස්සන තැනක් තමයි බබරකිරි ඇල්ල. බබරකිරි ඇල්ල පිහිටලා තියන්නේ ප්‍රධාන පාර අයිනෙමයි. මේ ඇල්ල එච්චරම ලොකු දිය ඇල්ලක් නෙමේ. ඒ උනාට ටිකක් නතර වෙලා ගිමන් නිවා ගන්න මෙතන කදිම තැනක්.

Hanging Bridge at Bambarakiri Ella
Wide view of Bambarakiri Ella

ඊළගට අපිට හම්බවෙන්නේ රිවර්ස්ටන් කුළුණ. රිවර්ස්ටන් කුළුණ බලන්න පාරේ ඉදන් 1.5km විතර උඩට යන්න ඕනේ. මේ කුළුණ බලන්න උඩට යද්දී ගොඩක් වෙලාවට හුළං පාර හරිම සැරයි. හවස් වෙනකොට මීදුමත් වැඩි වෙනවා. කුළුණ ළගට යනකන්ම පාරක් තියනවා. ඒක හින්දා හරිම ලේසියෙන් ඕනෙම කෙනෙක්ට මේ රිවර්ස්ටන් කුළුණ බලන්න යන්න පුළුවන්. මේ පාරේ භාගයක් දුර යනකොට වටේම බලන්න පුළුවන් තැනක් තියනවා. එතන ඉදන් වටේම හොඳ ලස්සන දර්ශනයක් බලා ගන්න පුළුවන්.

Vertical view of Riverston Tower,Matale
Riverston Tower
Wide view of Riverston Tower

මාතලේ සුන්දර ස්ථාන අතරින් කා අතරෙත් ඉතාමත් ජනප්‍රිය ස්ථානයක් තමයි පිටවල පතන. එහෙමත් නැත්නම් පුංචි ලෝකාන්තය. පාරේ ඉදන් 0.75km වගේ ඇවිදගෙන යනකොට පුංචි ලෝකාන්තය බලන්න යන්න අපිට පුළුවන්.

View of Pitawala Mountain Range

මේක පොඩි කන්දක් නගින්න තිබ්බට ඒතරම්ම අමාරු ගමනක් නෙමේ. පුංචි ලෝකාන්තයේ තියන විශේෂත්වය තමයි එක පාරටම අංශක 90ක විතර බෑවුමක් තියන එක. අනිත් දේ තමයි මෙතන කාලගුණය හරි ඉක්මනට වෙනස් වෙනවා. ඔයාලා මේ තැන බලන්න ආවහම හරිම පරිස්සමින් මෙතන සුන්දරත්වය විද ගන්න.

Wide View of Mini World's End

පුංචි ලෝකාන්තය බලලා ආපු පාරෙන්ම ආපහු යන්නේ නැතුව කැලේ ඇතුලෙන් පහලට බහින්න තවත් පාරක් තියනවා. මේ පාර ප්‍රධාන පාරට වඩා ටිකක් දුර උනාට ආපු පාරෙන්ම ආපහු යනවාට වඩා මේ පාර හොඳ අළුත් අත්දැකීමක්. පුංචි ලෝකාන්තය බලන්න යන්න අපිට එච්චර වෙලා යන්නේ නෑ. වැඩිම උනොත් යන්නේ පැය 02ක් 03ක් වගේ කාලයක්. මේ ගමන යද්දී ඔයාලා උදෙන්ම හරි එහෙමත් නැත්නම් හවස හරි යන්න. දවල්ට ගියොත් අව් රස්නෙත් එක්ක ගමන ටිකක් අමාරු වෙනවා.

Top view of Mini World's End

පුංචි ලෝකාන්තය බලලා ඉවර වෙලා අපිට එතැනින්ම පුළුවන් සේර ඇල්ල බලන්න යන්න. මාතලේ තියන ඉතාම සුන්දර දිය ඇලි අතරින් තවත් එකක් තමයි සේර ඇල්ල . සේර ඇල්ල පිහිටලා තියන්නේ පොතටවෙල කියන ගමේ. සේර ඇල්ල බලන්න ප්‍රධාන පාරේ ඉදන් 13km ක් විතර යන්න ඕනේ. සේර ඇල්ලට යන පාර එතරම්ම ප්‍රසිද්ධ පාරක් නෙමේ. ගම ඇතුලට යන්න තියන නිසා පාර ටිකක් දුෂ්කරයි. ඒක හින්දා යන්න කලින් හරියටම පාර බලාගෙන යන්න.

Wide front view of Sera Ella

සේර ඇල්ලේ තියන විශේෂත්වය තමයි පොඩි ගුහාවකින් හරිම ලේසියෙන් ඇල්ල පිටිපස්සට යන්න පුළුවන්. සේර ඇල්ලේ හොඳට වතුර තියන කාලෙට මේ ගුහාව ඇතුලෙන් පෙනෙන දර්ශණය ඉතාමත් සුන්දරයි. පාරේ ඉදලා ඇල්ල ගාවට යනකන්ම අත් වැලක් එක්කම පඩි පෙලක් විදිහට මාර්ගය සකස් කරලා තියනවා. ඒක හින්දා ඕනේ කෙනෙක්ට හරිම පහසුවෙන් මේ ඇල්ලට ලගා වෙන්න පුළුවන්. මාතලේ සුන්දර තැන් නරබලා ටිකක් නාලා එහෙම මහන්සි නිමා ගන්න සේර ඇල්ල හොඳ ස්ථානයක්. එතරම්ම ගැඹුරු නැති පොඩි අයට උනත් ලේසියෙන් බහින්න පුළුවන් ස්ථාන ටිකක් සේර ඇල්ලේ තියනවා. හැබැයි මේ නාන්න පුළුවන් තැන් වල විතරක් හරිම පරිස්සමින් නාන්න ඕනේ. අනිත් තැන් හරිම ගැඹුරුයි.

View of Sera Ella from the cave
Top View of Sera Ella
Top View of Sera Ella

නකල්ස් කඳු පන්තියේ පිහිටලා තියන තවත් අති සුන්දර කන්දක් තමයි මානිගල. මානිගල පිහිටලා තියෙන්නේ පිටවල ගමේ. මානිගල නැගලා බහින්න පැය 04ක් 05ක් වගේ කාලයක් යනවා. මේ කන්ද ගොඩක් කට්ටිය නගින තැනක් නෙමේ. ඒක හින්දා සෙනග ගොඩක් අඩුයි. කන්ද මුදුනට යනකන්ම පොඩි අඩි පාරක් වගේ තිබ්බට එක එක පැති වලට හැරෙන්න තවත් පාරවල් ගොඩක් තියනවා. ඒක ගමේ කෙනෙක් එක්ක මේ ගමන යනවනම් ගොඩක් හොඳයි. කන්ද නගින්න පටන් ගන්න තැන ගමේ ගෙවල් ගොඩක් තියනවා. එතනින් පාර දන්නා කෙනෙක් හොයා ගන්න ඔයාලාට පුළුවන්. ඔයාලාට දවල්ට කෑම ඕනේනම් ගමේ ගෙදරකින්ම කෑම අරගන්න පුළුවන්. කන්ද මුදුනට යනකන්ම පොඩි පාරක් තියනවා. ගමන එච්චර අමාරු නෑ. හැබැයි ගොඩක් දුර ඇවිදින්න තියන නිසා බොන්න වතුරයි සැහැල්ලු කෑම ටිකකුයි අරගෙන යන්න.

Manigala,Pitawala Village

මේ ගමනේ ප්‍රධාන තැන් තුනක් තියනවා. කන්ද ටිකක් දුර නගිනකොට අපිට හම්බවෙනවා පුංචි ලෝකාන්තය වගේ පොඩි තැනක්. එතන ඉදන් වටේම හොඳට බලාගන්න පුළුවන්. තවත් ටිකක් දුර යනකොට හෝටන් තැන්න වගේ ප්‍රදේශයක් තියනවා. අන්තිමටම තමයි කන්දේ මුදුනම තියෙන්නේ. මානිගල මුදුනටම ගියහම නකල්ස් කදු පන්තියේ අති සුන්දර දර්ශනයක් දැක බලා ගන්න පුළුවන්.

මාතලේ තියන මේ සුන්දර ස්ථාන ටික බලාගන්න ඔයාලාට යන්නේ දවසක් දෙකක් විතරයි. ඉතින් ඔයාලා ඊළග නිවාඩුවට ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවනම් මේ ටික බලන්න අනිවාර්යෙන්ම යන්න.

Top view ofManigala,Pitawala Village
View from Manigala
View from manigala

Contact DailyLife.lk

or drop an E-Mail to