සති අන්ත නිවාඩුවට යන්න හොඳම තැනක් - කහනාවිට ඇල්ල

සති අන්ත නිවාඩුවට පොඩි ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවානම් මෙන්න හොඳම තැනක්. පොඩි අයත් එක්ක ෆැමිලි ට්‍රිප් එකක් ගිහින් නිදහසේ දවස ගත කරන්න කහනාවිට ඇල්ල හරිම අපූරු තැනක්. කහනාවිට ඇල්ල එහෙමත් නැත්නම් බල්ලමුල ඇල්ල කියලා හදුන්වන මේ සුන්දර දිය ඇල්ල පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ තියන දැරණියගල කියන ප්‍රදේශය ඇති සුන්දර දිය ඇලි ගණනාවකින් සමන්විතයි. ඒ අතුරින් එකක් තමයි මේ කහනාවිට ඇල්ල කියන්නේ. කහනාවිට ඇල්ල පිහිටලා තියෙන්නේ දරනියගලත් දෙහිඔවිටත් අතර. ඔයාලා කොළොඹ ඉදන් එනවනම් අවිස්සාවේල්ලෙන් දෙහිඕවිටට ඇවිත් එතනින් දැරණියගල පැත්තට හරවන්න ඕනේ.

දැරණියගල පාරේ ටික දුරක් එනකොට පොඩි වංගුවක් එක්ක ඔයාලාට ඇල්ලට බහින අඩි පාර හොයා ගන්න පුළුවන්. මේ අඩි පාර දිගේ ගියහම ඔයාලා කෙලින්ම යන්නේ ඇල්ලේ ගැඹුරුම තැනට. ඇල්ල ඇවිත් මෙතනින් තමයි පහලට වැටෙන්නේ. ප්‍රදේශවාසීන් මේ තැන හදුන්වන්නේ මහ වල කියලා. ඔයාලා කහනාවිට ඇල්ල බලන්න එනවනම් මේ මහ වල බලන්න එන්න අමතක කරන්න එපා. මෙතන තමයි ඇල්ලේ ලස්සනම තැන. මෙතන තියන ලස්සන වගේම තමයි මෙතන තියන භයානක කමත්. එක පාරටම වතුර පාරේ සැර වැඩි වීම හින්දා මෙතන මරණ කීපයක්ම වාර්තා වෙලා තියනවා. දැරණියගල ප්‍රදේශය තමයි දැනට ලංකාවේ වැඩිම වර්ශාපතනයක් ලැබෙන්නේ. මේ නිසා එක පාරටම වතුර පාරේ සැර වැඩි වීම තමයි මේ මරණ වලට ප්‍රධානම හේතුව. මේ හේතුව හින්දා ගොඩ දෙනෙක් මෙතනට බහින්නේවත් නාන්නේවත් නෑ.

මේ මහ වලෙන් පොඩ්ඩක් උඩ හරියට ගියහම මේ ඇල්ලේ තියන ප්‍රසිද්ධ නාන තැනට යන්න පුළුවන්. මේ තැන වැඩිය ගැඹුරු නැති හින්දා ගොඩක් ආරක්ෂිතයි. ඔයාලා පොඩි අයත් එක්ක එහෙම යනවනම් මේ තැනට තමයි ඇල්ලට බහින්න හොඳම තැන.

මේ තැන සති අන්තයේ දවස් වල නම් ටිකක් සෙනග වැඩියි. හැබැයි ඔයාලාට සතියේ දවසක වගේ මෙතනට යන්න පුළුවන් නම් නිදහසේ දවස ගත කරලා මේ ඇල්ලේ සුන්දරත්වයත් විදගෙනම එන්න පුළුවන්.

Kahanavita Ella

Contact DailyLife.lk

or drop an E-Mail to