ඔබේ දරුවාත් ගොත ගසනවාද?

වයස අවුරුදු 2-5 අතරේ පසුවන දරුවන් සාමාන්‍යයෙන් කතා කරන විට සුළු ගොත ගැසීමක් කරනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒ කාලය ඔවුන්ගේ වචන වලට හුරු වෙන කාලයයි. ඔබේ දරුවන් සාමාන්‍යයෙන් වෙහෙසට පත්ව සිටින විට, යමකට බියට පත් වූ විට, යම් අපහසුතාවකින් පෙළෙන විට හා කිසියම් කරුණක් නිසා upset mood එකකින් සිටින විට ගොත ගසන තත්ත්වය වැඩිවෙනවා. ගොතය කියලා කියන්නේ කතාවක් ගලාගෙන යන ආකාරයට කිරීමේ නොහැකියාව යි. සාමාන්‍යයෙන් කතා කරන විට අක්‍රමිකතා පවතිනවා නම්, අසාමාන්‍ය පරිදි කතාව නවත්වනවා නම් හෝ එකම වචනය කිහිපවිටක් එක දිගට පවසනවා නම් ඔහුට ගොත ගැසීමේ තත්ත්වයක් තිබිය හැකි වෙනවා.

ගොත ගැසීම සඳහා බලපාන හේතූන් කිහිපයක්

  • ජානවල බලපෑම- කතා කිරීමට අපහසු අය සිටින පවුල් පසුබිමක්
  • ඉහල/ අධික්‍රියාකාරී මට්ටමක්
  • කඩිනමින් කතා කිරීමේ ප්‍රවණතාවක්
  • භාෂා කිහිපයකින් ඔවුන් සමග කතා කිරීම
  • වර්ධනය ප්‍රමාද වීම
  • උසස් පවුල් බලාපොරොත්තු

වයස අවුරුදු 5ක් වන විට බොහෝ දරුවන්ගෙන් මෙම තත්ත්වය මගහැරී යන අතර තවත් සමහර දරුවන්ට මෙම තත්ත්වය දිගටම පවතිනවා. බොහෝ දරුවන්ට ගොත ගැසීම දිගුකාලීන ගැටලුවක් නො වනවා. එහෙත් බොහෝ දෙමව්පියන්ට මෙම තත්ත්වය වුවද විශාල මානසික ගැටලුවක් වෙනවා.

ගොත ගැසීම සඳහා කිසිම ප්‍රතිකාරයක් නොමැත. එහෙත් ඔබේ දරුවාට මෙම තත්ත්වයෙන් මිදීමට ඔබට කල හැකි පිළියම් කිහිපයක් තිබෙනවා.

  • සෙමෙන් වචන හසුරවන්න

කතා කිරීමේ වේගය අවම කිරීම ඉතා වැදගත් වෙනවා. දරුවා කතා කරන විට යම් ගොත ගැසීමක් ඇති වුවත් ඔබ එයින් මානසික පීඩනයක් නොගෙන සංසුන්ව සිටීමට උත්සාහ කරන්න. ඔබ දරුවා සමග කතා කරන විට වචන දෙකක් අතර කුඩා කාල පරතරයක් සිටින අයුරින් වචන හැසිරවීමට උත්සාහ කරන්න. එවිට ඔබේ දරුවාට එය පහසුවෙන් තේරුම්ගත හැකි වෙනවා. මෙයින් අදහස් කරන්නේ ශබ්දය අඩු වීමක් නොව වචන කියවීමේ වේගය අඩුවක් පවත්වා ගන්න කියලා. කුඩා දරුවන්ට කතා කිරීමට බොහෝ වේලාවක් ගත වෙනවා. එම නිසා ඔබේ දරුවා කතා කරන විට ඔවුනට ද සෙමෙන් කතා කරන්න හුරු කරවන්න. ඔවුන් අපට පවසන්නේ කුමක් ද යන්න සිතා බැලීමට එවිට ඔවුන්ට හැකියාවක් තියෙනවා.

  • සැලකිල්ලෙන් සවන් දෙන්න

ගොත ගසන දරුවන්ට පමණක් නොව සියලුම දරුවන්ට සවන් දීමට හුරුවීම ඉතාමත් හොඳ පුරුද්දක් වෙනවා. ඔබේ දරුවා කතා කරන විට ඔබ කරන වැඩය සම්පූර්ණයෙන්ම නවත්වා ඔවුන්ට සවන් දෙන්න. ඇස්වල සම්බන්ධතාවය පවත්වා ගැනීම සවන් දීමේ ප්‍රධාන ලක්ෂණයක් වෙනවා.ගොත ගසමින් හෝ ඔබේ දරුවා ඔබට යමක් පැවසීමට උත්සාහ කරනවා නම් ඔබ ඔහුට ඉතාමත් ඕනෑකමින් සවන් යොමු කරන්න.එවිට දරුවා කෙසේ හෝ ඔබට අවශ්‍ය කාරණය පැහැදිලි කිරීමට උත්සාහ කරනවා. එසේ නොමැති වුව හොත් දරුවා ද කතා කිරීම අත්හැර දමනවා.

  • ප්‍රශ්න අසන්න

ඔබේ දරුවාගෙන් ප්‍රශ්න අසන විට වරකට එක් ප්‍රශ්නයක් ඇසීමට මතක තබාගන්න. පළමු ප්‍රශ්නයට පිළිතුරු දී අවසාන වන තෙක් දරුවාගෙන් දෙවන ප්‍රශ්නය නොඅසන්න. දරුවා පළමු ප්‍රශ්නයට පිළිතුරු දීමට බොහෝ වේලාවක් උත්සාහ කරනවා නම් ඒ ප්‍රශ්නය මගහැර තවත් ප්‍රශ්නයක් ඇසීමට බොහෝ දෙමව්පියන් පුරුදු වී සිටිනවා. එසේ කරන්න එපා. ඔවුන් කාලය ගත කර හෝ පවසන දෙය අවසන් කිරීමට ඉඩ දෙන්න. සංකීර්ණ ප්‍රශ්න ඇසීමෙන් වැළකී සිටින්න .ප්‍රශ්නවලට පිළිතුරු දීම පහසු කරවන ඉඟි ලබා දෙන්න.

  • ගොත ගසන විට කතා කරන්න එපා

ගොත ගැසීම වැඩි වන විට කතාව නතර කරන්න. ඒ වෙනුවට වැඩි කතාවක් නොකර කරන ක්‍රියාකාරකම් සඳහා උනන්දු කරවන්න.

  • විශේෂ වේලාවක් වෙන්කරන්න

ඔබේ කාර්ය බහුල කාල සටහන තුල දරුවා සමග කතා කිරීමට ඉඩක් වෙන් කරන්න. ඔබේ දරුවා සමඟ ක්‍රියාශීලීව ගත කරන කුඩා කාලයක් වුවත් ඔවුනට ඉතා වැදගත් වෙනවා. බාධාවකින් තොරව ඔබේ දරුවා වෙත අවධානය යොමු කරන්න. ලැප්ටොප්, පරිගණක, ජංගම දුරකථන, රූපවාහිනී වැනි දෑ සම්පූර්ණයෙන්ම ඉවත් කර ඔබේ දරුවා සමඟ කාලය ගත කරන්න. මෙම කාලය ඔබේ දරුවා ගේ නොබිදුනු අවධානයට යොමු වන නිසා එය එතරම් දිගු කාලයක් නොවුනත් දරුවාට බොහෝ දේ ලැබෙන වටිනා කාලයක් වනවා. දරුවා සමඟ සෙල්ලම් කිරීම, පොතක් කියවීම හෝ දවසේ උන සිදුවීමක් ඔවුන් සමග බෙදා හදා ගැනීම වැනි ක්‍රියාකාරකම් ඔවුන් සමග කරන්න.

  • ඔබේ දරුවාගේ කතා විලාසය විවේචනය නොකරන්න. නිතරම ඔහු නිවැරදි කිරීමට උත්සාහ කරන්න.
  • ගොත ගැසීමේ ගැටළුවක් පවතින විට දරුවා අන් අය සමඟ කතා කිරීමට පොළඹවන්න එපා.
  • දරුවා ගොත ගසන විට ඍණාත්මක ප්‍රතික්‍රියා වලින් ඈත් වන්න.

වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා:

  • තවමත් ගොත ගසන වයස අවුරුදු පහට වැඩි දරුවෙක් නම්
  • ඔබේ දරුවාගේ කතාවෙන් 10% වඩා වැඩි ප්‍රතිශතයක් ගොත ගසනවා නම්
  • කතා කිරීමේ අවස්ථා මග හරිනවා නම්
  • ආයාසයකින් හෝ ඉතාමත් වෑයමක් කරමින් කතා කරනවා නම්
  • එකම වචනය කීප විටක් පවසනවා නම්
  • මුහුණේ ඉරියව්වල දැඩි වෙහෙසක් පෙන්වනවානම්
  • වචන උච්චාරණය කරන ආකාරය වෙනස් නම්
  • ගොත ගැසීමෙන් මිදීමට වචන වෙනස් කරනවා නම්, අතරමඟ කතාව නතර කරනවා නම්, කතා කිරීම සඳහා අතිරේක ශබ්දයක් භාවිතා කරනවා නම්
  • ගොත ගසන අවස්ථාවේ මුහුණේ වෙනස්කම් ඇති වනවා නම්
  • කතා කිරීමේදී නිතරම වෙහෙසට පත් වනවා නම් හා කාලයත් සමග එය නරක අතට හැරෙනවා නම්
  • ගොත ගැසීම ඔහුගේ සමස්ත වර්දනයට බලපානවා නම්

ඔබේ දරුවා තවමත් කතා කිරීමට ඉගෙන ගන්නවා. ඒ බව මතක තබා ගන්න.ඒ නිසා කතා කරන දෙය සැමවිටම නිවැරදි විය යුතු නැත. ඔහුට රිසිසේ කතා කිරීමට ඉඩ සලසන්න. ගොත ගැසීම වැඩි වන අවස්ථාවන් වලදී නොසැලී සිටීමට උත්සාහ කරන්න.දරුවන් කතා කිරීම පමණක් නොව සෑම දෙයක් ගැනම අධ්‍යයනය කරමින් සිටින මෙම කාලයේදී දරුවා කෙරෙහි දක්වන ඔබගේ කාරුණික අවධානය ඉතාම වැදගත් වෙනවා. දරුවා කතා කරන විට ගොත ගැසීම වැඩි වන අවස්ථාවන් වල දී ඔහුව කලකිරීමට පත් වීමට හෝ වේදනාවෙන් පසු වීමට ඉඩ නොතැබීමට වග බලා ගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to