නව බිළිඳුන් සිටින මව්වරුන්ගේ හිසකෙස් ගැලවී යාම

ගර්භණී සමයේ ඔබේ හිසකෙස් වැඩි වීම සම්බන්ධයෙන් ඔබ සතුටට පත්වනවා. නමුත් ඔබේ දරුවා බිහි කර මාස කීපයකට පසුව අධික හිසකෙස් ගැලවීයාමක් ඔබට දක්නට ලැබෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ළදරු උපතකින් පසු අතිශයින් හිසකෙස් ගැලවී යාම සාමාන්‍ය තත්ත්වයක්. මෙය තාවකාලික හිසකෙස් ගැලවීයාමක් ලෙස හැඳින්වනවා . මෙම තත්ත්වය ඔබේ දරුවාගේ පළමු උපන් දිනය වන විට යථා තත්වයට පත්වෙනවා. සමහර කාන්තාවන්ට ඔවුන්ගේ පෙර තිබූ හිසකෙස් ප්‍රමාණයම නැවත ලැබෙනවා.

සාමාන්‍යයෙන් 85% ක් 95% ත් අතර ප්‍රමාණයක් හිසකෙස් ක්‍රියාශීලීව වැඩෙන අතර 5% ත් 15%ත් අතර ප්‍රමාණයක් විවේක ගැනීමේ අවස්ථාවේ සිටිනවා. විවේක අදියරෙන් පසු මෙම හිස කෙස් වැටී නැවත නව හිසකෙස් පැමිණෙනවා .ගර්භණී සමයේ ඉහළ estrogen මට්ටමක් වර්ධනය වෙනවා. මෙම හේතුව නිසා විවේක අවස්ථාවේ පසුවන හිසකෙස් වලින් සුළු ප්‍රමාණයක් පමණක් මෙම අවධියේදී වැටී යනවා. Estrogen වර්ධනය වීම නිසා හිසකෙස් ගැලවී යන ප්‍රතිශතය ඉතාමත් පහල මට්ටමක පවතිනවා. මේ හේතුව නිසා තමයි ගර්භණී සමයේ ඔබගේ හිසකෙස් හොඳින් ඝනව පිහිටා තිබෙන්නේ. ගර්භණී සමයෙන් පසුව ඉතා වේගයෙන් estrogen මට්ටම පහල බහිනවා. ඒ හේතුව නිසා හිසකෙස් වැඩි ප්‍රමාණයක් ගැලවී යනවා.

ඇත්ත වශයෙන්ම,මෙම තත්ත්වය සම්පූර්ණයෙන් නතර කිරීමට ඔබට කිසිවක් කල නොහැකියි. නමුත් ඔබේ හිසකෙස් පෙනුම වැඩි කිරීමට උත්සාහ කළ හැකි සමහර දේවල් තිබෙනවා

  • නවීන විලාසිතාවකට කොණ්ඩය කපන්න. කොණ්ඩය අඩු බව නොපෙනෙන එක් ආකාරයක් තමයි කොණ්ඩය කොටට කැපීම. කෙස් අඩු බවක් නොපෙන්වීමට කෙටි කොණ්ඩයකට හැකියාව තිබෙනවා.
  • කොන්ඩය කර්ල් කිරිම වැනි වෙනත් කොන්ඩ මොස්තරයක් උත්සාහ කර බලන්න.
  • හිසකෙස් වල තෙතමනය රඳා පවත්වා ගන්න.
  • හොඳ ෂැම්පු වර්ගයක් සහ කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කරන්න.
  • සාමාන්‍යයෙන් ඔබ හිස කෙස් මැදින් බෙදනවා නම් එය පැත්තෙන් බෙදා බලන්න.
  • ප්‍රෝටීන් බහුල සෞඛ්‍යවත් ආහාර වේලක් ලබා ගන්න.
  • දැති ඈත් වූ පනාවකින් පමණක් හිසකෙස් පීරන්න. මේ සඳහා brush භාවිතා නොකරන්න.
  • රබර් පටි, තද කොන්ඩ බුල් සහ තද කොන්ඩ කටු භාවිතා නොකරන්න.
  • බොහෝ විට ඔබේ හිසකෙස් සමඟ සෙල්ලම් කිරීමෙන් වලකින්න.
  • වියලි හිසකෙස් වලට වඩා තෙත කොණ්ඩය අස්ථාවර බැවින් තෙත කොණ්ඩය පිරීමේදී පරිස්සම් වන්න.
  • පානීය ජල ප්‍රමාණය වැඩි කරන්න. සුව නින්දක් ලබාගන්න. මානසික ආතතිය අඩු කරන්න.
  • සෞඛ්‍ය සම්පන්න තෙල් වර්ගයක් භාවිත කරන්න.

ඔබේ දරුවාගේ පළමු උපන්දිනය පසු වුවත් ඔබේ හිසකෙස් වැඩීම සාමාන්‍ය අතට පත් නොවන්නේ නම් හිසකෙස් සම්බන්ධ විශේෂඥවරයෙකු ගෙන් උපදෙස් ලබා ගන්න. හිසකෙස් ගැලවී යාම යකඩ ඌනතාවය, රක්තහීනතාවය සහ අයඩීන් ඌනතාවය වැනි රෝග ලක්ෂණ නිසා ද හට ගැනීමට ඉඩ තිබෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to