එදිනෙදා ජීවිතයේදී ගැබිණි මවක් අනතුරට ලක්විය හැකි අවස්ථා

දරුවෙක් කුස පිළිසිඳගත් දා පටන් අම්මගේ එකම හීනය තමයි නිරෝගී ලස්සන දරුවෙකු මෙලොවට බිහි කිරීම. ඒ වෙනුවෙන් ඇය සියලු කැපකිරීම් සිදු කරන්නේ ඉතාමත් ආශාවෙන්. අඳින පලඳින විදිය ගමන බිමන කෑම බීම හැම දෙයක්ම දරුවා වෙනුවෙන් තමයි වෙනස් කරන්නේ. මේ කාලයේ ආදරෙන් කුස පිරිමදිනවා , ආදරයෙන් කතා කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ කුස තුළ වැඩෙන දරුවා ව ආරක්ෂා කරගන්න. එහෙත් ඔබ නොසිතන අවස්ථාවක පුංචි අතපසුවීමක් නිසා නිවසේ දී හෝ මග තොටදී ඔබ අනතුරකට ලක්වෙන්න පුළුවන්. සමහර අවස්ථා වලදී මේ අනතුරු නිසා ඔබේ කුස තුල ඉන්න දරුවාගේ කළලයට හානි වෙන්න පුළුවන්. සුළු අතපසුවීමකින් පවා විශාල අනතුරක් වෙන්න පුළුවන්. ඒ මොනවද කියලා අපි හොයලා බලමු.

නිවසේ තියෙන අනතුරු බහුලම ස්ථානය තමයි ඔයාලගේ නාන කාමරය. නිතරම නාන කාමරයට පිවිසෙන දොරටුව අසල රෙදි පාපිස්සක් දමා තබන්න. ඒකෙන් නාන කාමරයට ඇතුළු වන දොරටුව අසල ජලය රඳා පවතින්නේ නැහැ. නාන කාමරය තුළදී ඔයාලා පාවහන් පලඳිනවා නම් නිතරම අලුත් පාවහන් යුගලක් භාවිතා කරන්න. මෙම කාල සීමාවේදී නානකාමරය තුළ පාවහන් පැළඳ සිටීමෙන් වැළකී සිටිනවා නම් අනතුරු සිදුවීමද වැළැක්වෙනවා. නාන කාමරය නිතරම පිරිසිදුව තබාගන්න. ඒ පිළිබඳ නිවසේ සිටින අන් අයවද දැනුවත් කරන්න. ඔයාලා නාන කාමරයට යන විට නිවසේ සිටින කෙනෙක් දැනුවත් කර යන්න. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී තනියම යාම අනාරක්ෂිතය. කිසිම අවස්ථාවක නානකාමරය තුළ වේගයෙන් එහා මෙහා ගමන් නොකරන්න.

මුල් මාස තුන තුළ සමහර අයට අධික ලෙස වමනය යනවා. එවැනි අවස්ථාවක නිතරම තමන් ළඟ භාජනයක් තබා ගන්න. වමනය යන්න ආපු ගමන් නාන කාමරය වෙත දුවන්න එපා. තමන් ළඟ ඇති භාජනයට වමනය කර එය නිවාඩු පාඩුවේ පිරිසුදු කර දමන්න.

නිවසක් තුල ඇති රෙදි පාපිසි වෙනුවට රබර් පාපිසි භාවිතා කරන්න. වර්තමානයේ වෙළඳපලේ ඇති රෙදි පාපිසි වල අඩිය සඳහා සිල්ක් රෙදි භාවිත කරනවා. එවැනි පාපිසි මත අඩිය තිබූ සැණින් ලිස්සලා යනවා. විශේෂයෙන්ම පඩිපෙලක නම් ආරම්භක ස්ථානයේ රෙදි පාපිසි දමා නොතබන්න.

සමහර කාන්තාවන් කැරපොත්තන් , මීයන් වගේ සතුන්ට හරිම බියක් දක්වනවා. එම සතුන් මර්දනය කිරීම සඳහා වෙළඳපොලේ ඇති කෘමිනාශක භාවිතයේ දී සැලකිලිමත් වන්න. එවැනි අවස්ථාවල භාවිතා කරන ස්ප්‍රේ වර්ග විශේෂයෙන්ම ඔබේ කළලයට හානි පමුණුවනවා. ඒ වාගේම ගෙබිම පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කරන්න. මේ පිළිබඳ ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න.

ඔබේ නිවස තුළ අනවශ්‍ය ආකාරයට බඩු පුරවා ගන්න එපා. නිතරම නිවස තුලට හොඳ වාතාශ්‍රයක් ලැබෙන පරිදි අත්‍යවශ්‍ය බඩු කිහිපයක් පමණක් තබාගන්න. නිවස තුළ තවත් කුඩා දරුවන් සිටිනවා නම් ඔවුන්ගේ කුඩා සෙල්ලම් බඩු වල කැබලි ටයිල් මත තිබෙන්නට පුළුවන්. ඔයාලා ඒ ගැන සැලකිලිමත් වූයේ නැතිනම් වැටෙන්න පුළුවන්. සෙල්ලම් කරපු ස්ථානය පිරිසුදු කිරීමට ඔබේ දරුවාට පුංචි කාලයේ සිටම පුරුදු කරන්න.

නිවසේ ඇති අනාරක්ෂිත විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටින්න. විදුලිය කාන්දුවක් සිදු වන අවස්ථාවකදී ඔබට හදිසි ක්‍රියා මාර්ගයකට යොමු වීමට නොහැකි නිසා හැකිතාක් දුරට විදුලි භාණ්ඩ භාවිතයෙන් වලකින්න. තෙත අතින් switch නොදමන්න. කුඩා විදුලි සැරක් වුනත් ඔබේ කළලයට හානි පැමිණීමට ඉඩ කඩ තිබෙනවා.

මෙම කාලයේදී වාහන වල ගමන් කරන විට ඉතාමත් සැලකිලිමත් වන්න. ඔබ යතුරුපැදියකින් දිනපතා රාජකාරියට ගියේ නම් මෙම කාලයේදී රාජකාරියට යාම සඳහා වෙනත් මාධ්‍යයක් තෝරා ගන්න. හැකිතාක් දුරට මෙම කාලයේ දී යතුරු පැදි භාවිතය සීමා කරන්න. ත්‍රීරෝද රථ භාවිතය ද හැකිතාක් දුරට අවම කරන්න. විශේෂයෙන් ඩීසල් ත්‍රිරෝද රථවල ගමන් කිරීමෙන් වැළකී සිටින්න. ඔබ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් හදිසි තිරිංග තද කිරීමකදී ඔබව ඉදිරියට යාම වැළැක්වීම සඳහා ආසන පටි පැළඳ සිටින්න. මෙම කාලයේදී අධික පිරිසක් ගමන් කරන ඉතා වෙහෙසකාරී බස් රථ හා කෝච්චි වෙනුවට කාර්යාල ප්‍රවාහන වෑන් රථයක් තෝරා ගන්න. එයින් ඔබටත් දරුවාටත් වැඩි ආරක්ෂාවක් සැලසෙනවා. හැකි සෑම විට ම ගමන් බිමන් යාමට කල් වේලා ඇතුව සැලසුම් කරගන්න. හදිසි ගමන් බිමන්වලින් වැළකී සිටින්න.

ඔබ සේවයේ නියුතු කාන්තාවක් නම් එම කාලයේ දී අඳින පළඳින ඇඳුම් පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න. ඇඟට හිර වූ ඇඳුම් වෙනුවට ඔබට සුවපහසු ඇඳුම් භාවිතා කරන්න. නිතරම ලා පැහැති කපු ඇඳුම් අඳින්න. ඒ වාගේම වඩා දිග ඇඳුම්ද අඳින්න එපා . ඒවා පැටලී ඇද වැටීමට ඇති ඉඩකඩ වැඩිය. නිය ආලේපන , තොල් ආලේපන හා මේකප් කිරීමට භාවිතා කරන ක්‍රීම් සහ අනෙකුත් ද්‍රව්‍යයන් පිළිබද ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. ඔබ රාජකාරි කටයුත්තක් නො කර නිවසේ රැඳී සිටින කෙනෙකු නම් මේ කාලසීමාවේදී මේවායින් බැහැර ව සිටින්න. ඔබ පැළඳු නවීන ආකාරයේ අඩි උස සපත්තු වෙනුවට දෙපා වලට පහසු තුනී පාවහන් තෝරා ගන්න.

හැකි සෑම විටම සතුටින් සිටින්න. එය ඔබේ කුස තුල සිටින දරුවාට ඍජුවම බලපානවා. මානසික ආතතිය කළලයට හානි පමුණුවනවා. ගර්භණීය සමයේ දී නිතරම කුසතුල වැඩෙන කිරිකැටියා ගැන සිතා වැඩකටයුතු කරන්න. නිරෝගී දරුවකු මෙලොවට බිහි කිරීමට ඔබත් දායක වන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to