ඔයාගේ බබාත් වාහනේ යන යන පාරට වමනේ දානවද?

ලොකු පොඩි කියලා භේදයක් නැතුව සමහර අය වාහන වල යන යන පාරට වමනේ දානවා අපි ඕනේ තරම් දැකලා තියනවා. චලන අසනීප (motion sickness / car sick) කියලා හදුන්වන මෙය රෝගී තත්වයක් නෙමේ. මේක ඕනේ කෙනෙක්ට අඩු වැඩි වශයෙන් ඇති වෙන්න පුළුවන් දෙයක්. හොඳ නිරෝගී පුද්ගලයෙක්ට උනත් චලන අසනීප ඇති වෙන්න පුළුවන් අවස්තා තියනවා. සමහර අය මේ සඳහා ගොඩක්ම සංවේදීයි.

මොකක්ද මේ චලන අසනීප කියන්නේ?

චලන අසනීප ප්‍රධාන වශයෙන්ම ඇති වන්නේ අපේ ඇසට පෙනෙන චලනයන් හා අපේ අභ්‍යන්තර කණට දැනෙන චලනයන් අතර පරස්පරතාවක් ඇති උනහම තමයි. උදාහරණයක් විදිහට හිතන්න අපි වාහනයක යන ගමන් පොතක් කියවනවා. එහෙමත් නැත්නම් ලැප්ටොප් එකක වැඩ කරනවා. මේ වගේ වේලාවකදී අපේ අභ්‍යන්තර කණට අපි වාහනයක යන හින්දා චලනයක් වෙන බව දැනෙනවා. හැබැයි අපි පොත දිහා හරි ලැප්ටොප් එක දිහා හරි බලන් ඉන්න හින්දා අපේ ඇසට චලනයක් වෙන බව පෙනෙන්නේ නෑ. මේ වගේ වේලාවකදී තමයි අපේ ඇගට අසනීප ගතියක් ඇති වෙලා තෙහෙට්ටු ගතියක් සහ වමනයට එන ගතියක් දැනෙන්නේ. අපිට වාහනයක යන වෙලාවක, බෝට්ටුවක හෝ නැවක යනකොට, ගුවන් යානයක යන වේලාවකදී වගේ ඕනෙම වෙලාවක චලන අසනීප ඇති වෙන්න පුළුවන්. මේ චලන අසනීප ගොඩක්ම ඇති වෙන්නේ අවුරුදු 2-12 අතර වයස් වල කුඩා දරුවන්ට. ඔයාලටත් මේ වගේ වාහන වල යන හැම වෙලාවකදීම වමනේ කරන බබෙක් ඉන්නවා නම් ගමන් යන එක හරිම හිසරදයක්.

හැබැයි ඔයාලත් මේ දේවල් අනුගමනය කලොත් ඔයාලගේ බබත් හැම වෙලේම වමනේ කරන එක අඩු කර ගන්න පුළුවන්. මේ විදිහට වමනේ යන එක අඩු කර ගන්න තියන හොඳම විදිහ තමයි වමනේ යන්න එන හේතු අවම කර ගන්න එක. හැබැයි පොඩි ළමයින්ව මේ දේවල් වලට යොමු කර ගන්න එක හරිම අමාරු වැඩක්. ඒ උනත් කොහොම හරි මේ දේවල් කර ගත්තොත් ඔයාලට ගමනක් යනකොට ඒක ලොකු පහසුවක් වෙයි.

චලන අසනීප වල ලක්ෂණ ගැන අවධානයෙන් ඉන්න

ඔයාට ඉන්නේ ඇගට වෙනසක් දැනෙනකොට වමනේ යන්න එනකොට කියන්න පුළුවන් තරමේ ටිකක් ලොකු බබෙක් නම් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයාගේ බබා ගොඩක්ම පොඩි නම් ගමනක් යනකොට ඔයා බබා ගැන හරිම අවධානයෙන් ඉන්න ඕනේ. බබා ගමන අතරමගදී පහත ලක්ෂණ පෙන්නුම් කරනවා නම් අනිවාර්යෙන්ම බබාට චලන අසනීපයක් ඇති වෙලා තියෙන්නේ.

  • බබාට අසාමාන්‍ය ලෙස දහදිය දමනවා නම්
  • අසාමාන්‍ය කේන්තියක් හා නොරුස්සන ගතියක් ඇති වෙනවා නම්
  • නිරන්තරයෙන් ඈනුම් අරිනවා නම්
  • ඉක්මනින් ඉක්මනින් හුස්ම ගන්නවා නම්
  • වෙහෙසකාරී බවක් පෙන්නුම් කරනවා නම්
  • වැඩිපුර කටට කෙල උනනවා නම්

ගමන යන්න පටන් ගන්න කලින් ....

  • ගමන අතර මගදී බබාට වමනේ ගියොත් ඒකට ඕනේ කරන හැම දෙයක්ම ලෑස්ති කර ගන්න. (වාහනේ ඇතුලෙදි වමනේ කරන්න පොඩි බෑග් එකක්, පිහ දාන්න ටිෂු ටිකක්, වතුර හා වැඩිපුර ඇදුම් වගේ දේවල්)
  • කිසිම වෙලාවක වාහනේ ඇතුලේ දුම් පානය කරන්න සහ ගොඩක් සැර සුවදවල් තියන දේවල් අර ගෙන යන්න එපා. සමහර කෑම, සුවද විලවුන් වගේ දේවල් හින්දත් පොඩි ළමයි වාහනේ ඇතුලෙදි වමනේ දානවා.
  • ගමන යන්න කලින් ඉඟුරු යුෂ වගේ ස්වභාවික දේවල් ටිකක් දීලා බලන්න

ගමන යන අතරතුරේදී …

  • බබාව ජනේලයක් ලග ඉස්සරහ සීට් එකක ඉන්දවන්න. වෑන් එකක වගේ යනවනම් කිසිම වෙලාවක පිටි පස්සෙම සීට් වල ඉද ගන්න දෙන්න එපා.
  • හැම වෙලේම බබාගේ අවධානය වෙන අතකට හරවන්න. කිසිම වෙලාවක වාහනේ ඇතුලේ එයාට කම්මැලි හිතෙන්න දෙන්න එපා. දිගටම බබා එක්ක කතා කරන එකෙන්, පොඩි සෙල්ලම් වලින්, බබා එක්ක සින්දු කියන වගේ දේවල් වලින් එයාගේ අවධානය වෙනස් කරන්න පුළුවන්.
  • ගමන යන්න කලින් සහ ගමන යන අතරතුරේදී බබාට ලොකුවට කන්න දෙන්න එපා. පොඩි පොඩි දේවල් ටිකක් කන්න දෙන්න.
  • වමනේ යන හැම වෙලාවකම වතුර ටිකක් බොන්න දෙන්න. හැබැයි වතුර ගොඩක් බොන්න දෙන්න එපා.
  • පුළුවන් නම් ගමන ගිහින් ඉවර වෙනකන් බබාට ඇස් දෙක පියාගෙන ඇලවෙලා යන්න කියන්න.
  • බබා කාර් සීට් එකක යනවනම් ඒ සීට් එක බබාට ඉද ගත්තහම එලිය බලන්න පුළුවන් විදිහට උස්සන්න. බබාට කියන්න ඈත තියන දේවල් දිහා බලා ගෙන යන්න කියලා. ඉක්මනින් චලනය වෙන ලග තියන දේවල් දිහා බලන්න එපා කියන්න.
  • වාහනය ඇතුලෙදි පොත් කියවන්න, වීඩියෝ බලන්න, ගේම් ගහන්න දෙන්න එපා.
  • ඔයාලා දුර ගමනක් යනවනම් සැරින් සැරේට වාහනේ නවත්වලා බබාව එළියට බස්සලා ටිකක් වෙලා එළියේ ඇවිදින්න දෙන්න.
  • වාහනේ ඇතුලට හොඳට වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න. පුලුවන්නම් වීදුරුවක් පොඩ්ඩක් ඇරගෙන යන්න.
  • වාහනේ ගමන් කරන දිශාවටම බබාව ඉන්දවන්න. කෝච්චියක වගේ යනවනම් ආපස්සට තියන සීට් එකක ඉන්දවන්න එපා.

වෛද්යවරයෙක් හමු වෙන්න ඕනේ කොයි වෙලාවටද?

  • චලන අසනීප ලක්ෂණ පැය අටකටත් වඩා වැඩි කාලයක් තියනවා නම්
  • බබා අසාමාන්‍ය ලෙස අසනීප ගතියක් පෙන්නුම් කරනවා නම්
  • බබාව වෛද්යවරයෙක්ට පෙන්නුවොත් හොඳයි කියලා ඔයාට හිතෙන ඕනෙම වෙලාවක

ගොඩක් වෙලාවට මේ චලන අසනීප තත්වයන් ගමන ගිහින් ඉවර වෙලා පැය 4ක් 5ක් වගේ කාලයක් ඇතුලත අඩු වෙලා යනවා. අනිත් දේ තමයි බොහෝ වෙලාවට බබාලා ගමන අතරතුරේදී වමනේ දාන්නේ එක පාරක් හෝ දෙපාරක් විතරයි. වමනේ දැම්මට පස්සේ එයාලා යතා තත්වයට පත් වෙනවා. නමුත් සමහර වෙලාවට ගමන ගොඩක් දිග එකක් නම් සමහර බබාලා ගමන පුරාවට කීප වරක් උනත් වමනේ දාන්න පුළුවන්. මේ වගේ වෙලාවට කරන්න තියන හොඳම දේ තමයි ගමන අතරතුරේදී කීප වරක් වාහනේ නවත්වලා පොඩි විවේකයක් ලබා ගන්න එක. ඔයාලා දුර ගමනක් යනවනම් මේ විදිහට කීප වරක් නවත්වන්නත් එක්කම කාලය වෙන් කරගෙන ගමන සැලසුම් කර ගන්න.

චලන අසනීප අවම කර ගන්න ඕනේ තරම් එක එක බෙහෙත් ජාති තියනවා. හැබැයි මේ කිසිම දෙයක් ඔයාගේ බබාට දෙන්න කලින් වෛද්යවරයෙක් හම්බ වෙලා නිසි උපදෙස් අර ගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to