අලුත උපන් බබාට මවුකිරි දීම ගැන ඔබ දැන ගත යුතු තවත් දෑ..

බබෙක් ලැබුනහම අම්මා කෙනෙක්ට ඇති වෙන ගැටළු නම් කියලා නිම කරන්න බෑ. විශේෂයෙන්ම ඔයා පලවෙනි පාරට අම්මා කෙනෙක් උන කෙනෙක්නම් මේ ප්‍රශ්ණ දෙගුණ තෙගුණ වෙනවා. හැබැයි ඉතින් මේ ප්‍රශ්ණ ඔක්කොම පලවෙනි සති කීපයේදී විතරයි. ඒ වගේම තමයි මේ පලවෙනි සති කීපය අම්මටයි බබාටයි දෙන්නටම හරිම වැදගත් සති කීපයක්. මේ කාල සීමාව ඇතුලතදී නිසියාකාරව මවුකිරි දීම සිද්ධ උනේ නැත්නම් අම්මයි බබයි දෙන්නම ලොකු අමාරුවක වැටෙනවා. ඒක හින්දා මවුකිරි දීම ගැනයි ඒ කාලයේදී ඇති වන ගැටළු ගැනයි කල් තියාම හොඳ අවබෝධයක් තියා ගන්න එක හරිම වටිනවා.

පළමු හමුවීම

දරු ප්‍රසුතියෙන් පස්සේ ඔයාගේ තත්වය ටිකක් ස්ථාවර උනහම බබාව ඔයාගේ අතට ලබා දෙනවා. අම්මයි බබයි අතර ඇති වන මේ පළමු හමුවීම ඔයාගේ ජීවිතේ අමතක නොවන සටහනක් වගේම අම්මටයි බබාටයි මේ හමුවීම හරිම වැදගත්. මේ හමුවීමේදී ඔබ බබාට ලබා දෙන ප්‍රථම කිරි එහෙමත් නැත්නම් කොලේස්ට්‍රම් සාමාන්‍ය මවු කිරි වලට වඩා ඝනකම්. මේ ප්‍රථම කිරි ටික බබාට අවශ්‍ය සියළුම පෝෂණය ලබා දෙනවා. ඒක හින්දා ඔයාට තියන හැම අමරුවක්ම අමතක කරලා දාලා මේ ප්‍රථම කිරි ටික බබාට නිසියාකාරව ලබා දෙන්න.

මවුකිරි දීමට පහසු ඉරියවුවක් තෝරා ගැනීම

ඔයා පළමු වරට අම්මා කෙනෙක් උන කෙනෙක්නම් මවුකිරි දීම ඔයාට හරිම සංකීර්ණ දෙයක් වෙන්න පුළුවන්. ඒකට හුරු වෙන්න ඔයාට ටික දවසක් ගත වෙනවා. හැබැයි ඔයාට පහසු මවුකිරි දීමේ ඉරියවුවක් තෝරා ගත්තොත් කිරි දෙන්න පහසුවෙන් හුරු වෙන්න ඔයාට වැඩි කාලයක් ගත වෙන්නේ නෑ. මවුකිරි දීමේ විවිධ ඉරියවු වලින් ගොඩ දෙනෙක් තෝරා ගන්න ඉරියවුව තමයි cross-cradle ඉරියවුව. හැබැයි ඉතින් මේ හැම ඉරියවුවක්ම උත්සාහ කරලා බලලා ඔයාටයි බබාටයි පහසුම ඉරියවුව තෝරා ගන්න. අනිත් දේ තමයි බබාට කිරි දෙද්දී ඔයාගේ තන පුඩුව බබා දෙසට ගෙන යනවා වෙනුවට බබාව ඔයා දෙසට ලන් කර ගන්න.

ඔබට මවුකිරි දීම සම්බන්ධව උපදෙස් අවශ්‍යද?

ඔයාගේ බබා මවුකිරි බීමේදී යම්කිසි අපහසුතාවයකින් පෙලෙනවානම් හෝ මවුකිරි දීමේදී ඔබට වේදනාවක් ඇති වෙනවා නම් සමහර විට ඔබට මේ සම්බන්ධව උපදෙස් පැතීමට අවශ්‍ය වෙනවා. මේ සම්බන්ධයෙන් ඔයාලට මවුකිරි දීම සම්බන්ධ විශේෂිත පුද්ගලයින්ගෙන් හෝ පවුල් සෞඛ්යය නිලධාරීන්ගේ සහය පතන්න පුළුවන්.

පියයුරු වේදනාවෙන් මිදෙන්නේ කොහොමද?

මවුකිරි බීමේදී බබා හරියට තන පුඩුව බබාගේ කට ඇතුලට ගත්තේ නැතුවහම තමයි වේදනාකාරී තන පුඩු ඇති වන්නේ. ඒ නිසා හරියට තන පුඩුව කට ඇතුලට ගන්න බබාට උදව් කරන්න. මේ වේදනාකාරී තත්වය දිගින් දිගටම තියනවානම් වෛද්ය උපදෙස් පතන්න.

තවත් සමහර අයට පියයුර ඉදිමුන හා තද ගතියක් ඇති වෙන්න පුළුවන්. මේ තත්වය ඇති වන්නේ දිගින් දිගටම පියයුරේ කිරි පිරිලා කැටි ගැසෙන තත්වයක් ආවහම. මේ තත්වය සමනය කර ගන්න තියන හොඳම විදිහ තමයි නිතර නිතර බබාට කිරි දෙන එක. මේ තත්වය ඇති වෙන්නෙත් ප්‍රසුතියෙන් පළමු සති කීපය ඇතුලත. කල් යද්දී ඔයාගේ ඇග හුරු වෙනවා කොච්චර කිරි ප්‍රමාණයක් බබාට අවශ්‍ය කරනවාද කියන එකට. ඒ වගේම තමයි මේ වගේ වේදනාකාරී තත්වයක් ඇති උනොත් පියයුර අත්ලෙන් පිරිමැදීමෙන්, වැඩිපුර කිරි ටික අයින් කර දැමීමෙන් සහනයක් ලබා ගන්න පුළුවන්. මේ සඳහා වැඩිදුර උපදෙස් වෛද්යවරයකුගෙන් ලබා ගන්න එක තමයි හොඳම දේ.

බබාට බඩ පිරෙන්න මගේ කිරි ඇතිද?

ප්‍රථම වරට මවු පදවිය ලබපු ගොඩ දෙනෙක්ට ඇති වන ගැටළුවක් තමයි තමන් නිපදවන කිරි ප්‍රමාණය බබාගේ බඩ පිරෙන්න ඇතිද කියන එක. ඔයාටත් මේ සම්බන්ධව ගැටළුවක් තියනවානම් හොඳම දේ තමයි බබා මුත්‍රා හා මලපහ කරන වාර ගණන ගැන අවධානයෙන් සිටීම. බබාගේ වයස අනුව තිබිය යුතු මුත්‍රා හා මලපහ වාර ගනනේ ප්‍රශ්නයක් නැත්නම් ඔයාගේ කිරි බබාට හොඳටම ඇති. හැම දෙයක්ම වගේ ඔයාගේ ඇගෙන් කිරි නිපදවන්නේ ඒ කිරි වලට තියන ඉල්ලුමට අනුව. දරුවා කිරි බොන්නේ ටිකයි නම් ඒ ප්‍රමානෙට තමයි කිරි නිපදවෙන්නේ. ඔයාට නිවුන් දරුවන් වගේ ඉන්නවනම් ඒ දරුවන් දෙන්නටම ඇති වෙන්න කිරි නිපදවෙනවා. බොහෝ විට බබා කිරි බීලා ඉවර උනහම ඔවුන් ඉබේම තන පුඩුව කටින් අත හරිනවා. ඒ වෙලාවට බඩ පිරිලා මදි කියලා හිතලා තවත් කිරි පොවන්න යන්න එපා. ඒ වගේම තමයි අලුත උපන් බබෙක් පැය 03ට වඩා වැඩි කාලයක් එක දිගට කිරි නොබී නිදා ගන්නවානම් ඔවුන්ව ඇහැරවලා කිරි පොවන්න ඕනේ. මවු කිරි දෙන කාලය ඇතුලතදී හොඳ පෝෂදායි අහාර ලබා ගන්නත් අමතක කරන්න එපා.

ඔයාගේ බබාටත් අවශ්‍ය ප්‍රමාණයට මවුකිරි පෙවෙන්නේ නැත්නම් බබාගෙන් පහත ලක්ෂණ පෙන්න්නුම් කරනවා.

  • දරුවා මුත්‍රා හා මලපහ කරන වාර ගණන අඩු වීම
  • මවුකිරි බීමෙන් පසුව දරුවා ඇඩීම
  • බබාගේ සම කහ පාට වීම
  • මවුකිරි බීමේ අපහසුතා හෝ ඉතා දිගු වේලාවක් මවුකිරි බීමට උත්සාහ කිරීම
  • වියළි තොල්
  • මවුකිරි බීමට පවා බබා අවදියෙන් නොසිටීම

පියයුරු වලින් කිරි ගැලීම

දරු ප්‍රසුතියෙන් පසු පළමු සති කීපය ඇතුලත පියයුරු වලින් ඉබේම කිරි ගැලීම හරිම සුලබ දෙයක්. මේ තත්වය අවම කර ගන්න නිපල් පෑඩ් එකක් අදින්න පුළුවන්. නැත්නම් එකේම එලියට එන කිරි වලින් ඔයාලගේ ඇදුම තෙත් වෙයි. ඔයාලා නිපල් පෑඩ් පාවිච්චි කරනවානම් ඒවා නිතර නිතර මාරු කරන්න අමතක කරන්න එපා. නැත්නම් එහෙම අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. අනිත් දේ තමයි ටික වෙලාවකින් බබාට කිරි දීලා නැත්නම් මේ වගේ වෙලාවක බබාට කිරි ටිකක් දෙන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to