කුඩා දරුවන්ට ආහාර කැවීමේ අභියෝගය

කුඩා දරුවන්ගේ ආහාර ගැනීමේ පුරුදු දරුවාගෙන් දරුවාට වෙනස් වෙනවා. සමහර දවස්වලට දින ගණනාවකින් ආහාර ගත්තේ නැති අයුරින් ආහාර ලබාගන්නවා. සමහර විද්වතුන් පවසන්නේ ආහාර ප්‍රතික්ෂේප කිරීම ඔබේ දරුවාගේ බල අරගලයේ කොටසක් බවයි. ආහාර ප්‍රතික්ෂේප කිරීම යනු මෙම අවධියේදී පාලනය කළ හැකි සුළු තත්ත්වයක් වෙනවා. කවුරු කෙසේ කීවත් ඔබේ දරුවාට ආහාර ලබා දීම මව්වරුන්ට විශේෂ අභියෝගයක් වෙනවා. දරුවා ප්‍රමාණවත් තරම් ආහාර නොගත හොත් මව්වරුන් මහත් පීඩාවට පත්වෙනවා.

ඔබේ දරුවා ආහාර නොගැනීම බොහෝ කරුණු තිබිය හැකියි. ඔබ දරුවා ළඟට කිට්ටු වී ඔහුව සමීපව නිරීක්ෂණය කරන්න. එවිට ඔබට දරුවා ආහාර නොගැනීමට හේතුව කුමක්ද යන වග තේරුම් ගැනීමට හැකි වෙනවා. ඔබේ දරුවා ආහාර ගැනීමට දිරි ගන්වන සුළු උපක්‍රම කිහිපයක් තිබෙනවා.

  • ආහාර ලබාගැනීම නාට්‍යයක් බවට පත් කරන්න. ඔබේ දරුවාට එහි ප්‍රධාන චරිතයක් ලබා දෙන්න. නාට්‍ය අතරතුර දරුවාට ආහාර ලබා දීමට උත්සාහ කරන්න.
  • මුලින්ම ඔහු කැමැති ආහාර ඔහුට ලබා දෙන්න. අකමැති ආහාර බලෙන් කැවීමට උත්සාහ නොකරන්න.
  • විවිධාකාර වූ ආහාර ලබාදීමට උත්සාහ කරන්න. වැඩිහිටියන් මෙන් එකම ආහාරය ලබා ගැනීමට ඔවුන් කැමති වන්නේ නැහැ. එවිට ඔවුන්ට ආහාර අරුචිය ඇති වෙනවා. නිතරම අලුත් රසයෙන් යුත් අලුත් ආහාරයක් දරුවාට දීමට උත්සාහ කරන්න. ඔවුන් එයට බොහෝ කැමති වෙනවා.
  • ඔවුන් බඩගින්නේ සිටින විට ඔවුන්ට ආහාර ලබාදෙන්න . කාල සටහනකට අනුව ආහාර දීමෙන් වැලකී සිටින්න.
  • ප්‍රධාන ආහාර වේලක් දීමට පෙර ඒ ආසන්න වෙලාවන්හිදී කෙටි ආහාර උදාහරණ වශයෙන් බිස්කට් වැනි දෑ ලබා නොදෙන්න.
  • ඔබේ දරුවා වයස අවුරුදු දෙකට ආසන්න නම් ඔහු බොහෝ ආහාර ලබා නොගන්නා එක සාමාන්‍ය දෙයකි. මෙම කාලය ඔවුන්ගේ සංවර්ධන කටයුතුවල නියැලෙන අතර කුඩා ප්‍රමාණයේ ආහාර ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් වෙනවා. මෙම කාරණාව තේරුම් ගෙන මෙම කාලයේදී ඔවුන්ට පෝෂදායි ආහාර කුඩා ප්‍රමාණයෙන් ලබා දෙන්න.
  • දරුවාට තනිව ආහාර ගැනීමට ඉඩ සලස්වන්න. මෙමගින් ඔවුන් තනිව ආහාර ගැනීමට පුරුදු වනවා පමණක් නොව යම් දෙයක් තනිව කිරීමට පලපුරුද්දක් ලබා ගන්නවා. ළමා මනසට මෙය විශාල හැඟීමක් ගෙන දෙනවා
  • ආහාර ගන්නා අතරතුර ඔවුන් සමග තර්ක කිරීමට නොයන්න. ඔබ එසේ කරන්නේ නම් අවසානයේදී එය රණ්ඩුවක් බවට පත්වෙනවා. මෙය කුඩා දරුවන්ට ආතතියක් ගෙන දෙනවා. දරුවාගේ ආහාර වේලට සීනි සහිත ආහාර එකතු කරන්න එපා. සෑම විටම සන්සුන්ව ආහාර ගැනීමට හුරු කරන්න
  • පවුලක් වශයෙන් සෑම දෙනාම එකට හිඳ දරුවා සමඟ ආහාර ලබා ගන්න. පවුලේ සාමාජිකයන් සියලු දෙනාම සමඟ ආහාරය රස විඳීමට පුරුදු වන්න. එවිට ඔබේ දරුවාද එම ක්‍රමය අනුගමනය කරනවා.
  • ඔබේ දරුවා අකමැති සමහර ආහාර, ඔහුගේ ආහාර වේලෙන් ඉවත් නොකරන්න. එම ආහාර නැවත නැවත දරුවා වෙත ලබාදීමට උත්සාහ කරන්න. සමහර ආහාර ඔහු පළමුවරට රස බැලීමෙන් අනතුරුව දෙවනුව ඉතා ආසාවෙන් කනවා.
  • ඔබේ දරුවා ආහාර වේලක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ වෙනුවට ක්ෂණික ආහාරවලින් දරුවාගේ බඩ පුරවන්න එපා. ඔබ දරුවාගේ බඩ පිරවීමට වඩා දරුවාගේ පෝෂණ පැත්ත ගැන නිතරම සිතන්න.
  • දරුවා ආහාර ගන්නා විට ඔහුගේ පිළිවෙළ ගැන නොසිතන්න. දරුවාට ආහාර සමඟ සෙල්ලම් කිරීමෙන් එහි රස විඳීමට ඉඩ හරින්න. දරුවා කන අතරතුර ආහාර බිම දමනවා. කෙසෙල් කනවා නම් ඒවා පොඩි කරනවා. බිස්කට් ආහාරයට ගන්නව නම් ඒවා පොඩි කරනවා. නමුත් ඒවාට කිසිවක් නොකියන්න. දරුවා ආහාර ගැනීමට ගෑරුප්පුවක් භාවිතා නොකරන එක ගැන කණගාටු නොවන්න. ඔවුන්ට රිසි සේ ආහාර ගැනීමට ඉඩ සලසා දෙන්න. අවසානයේ ඔවුන් සියල්ල පිළිවෙලට කිරීමට පුරුදු වෙනවා.
  • ආහාර පිළියෙල කරන විට දරුවා ද ඒ සඳහා සහභාගි කර ගන්න.
  • දරුවා ආහාර ලබාගන්නා විට රසවත් ආහාර වල පින්තූර පෙන්වන්න.
  • ආහාර ගැනීම සඳහා ප්‍රසන්න පරිසරයක් නිර්මාණය කරන්න. ඔබේ දරුවා සඳහා ආහාර පිළියෙල කරන විට නිර්මාණශීලී කලාවක් ඒ සඳහා භාවිතා කරන්න.
  • ඔබ ආහාර ලබා ගන්නා විට ඔබේ පිඟානෙන් දරුවාට ද ආහාර ලබාගැනීමට ඉඩ සලසන්න. මේ ආකාරයට ඔවුන් ඔබ සමග නව ආහාර ගැනීමට උත්සාහ කරනවා.

වඩාත් වැදගත් කරුණ වන්නේ දරුවා ආහාර ලබාගන්නා අවස්ථාවේ ඔබ ඉතා සන්සුන් ව සිටින එක. ආවේගශීලී නොවන්න. ඔබේ දරුවා සමඟ කෝප නොවන්න. ඔබේ දරුවා ආහාර ලබාගන්නා අවස්ථාවේ ඒ සඳහා හැඩගැස්වීම ඔබ සතු කාර්යයක් වනවා. ඒ සඳහා ඔබ ඔබේම උපක්‍රම යොදාගනිමින් දරුවාට නිසි පෝෂණයක් ලබා දෙන්න.

ඔබේ දරුවා අඛණ්ඩව ආහාර ප්‍රතික්ෂේප කරන්නේ නම් එය රෝගී තත්ත්වයකි. එහිදී ඔවුන්ට බඩගින්න පිළිබඳ කිසිම සංඥාවක් නොදැනිම මෙම රෝගයේ රෝග ලක්ෂණයි. මෙය අධික ලෙස බර අඩු වීමට සහ විජලනයට හේතු වෙනවා. එවැනි දරුවන් අවශ්‍ය වෛද්‍ය උපදෙස් මත ඉතා පරිස්සමෙන් රැක බලා ගත යුතු වෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to