පච්චයක් ගහන්න කලින් මේ ගැනත් හිතන්න

එක එක්කෙනාට ලස්සන ගැන තියෙන්නේ විවිධාකාරයේ අදහස්. කෙනෙකුට ලස්සන දෙයක් තවත් කෙනෙකුට ලස්සන නැති වෙන්න පුළුවන්. කොහොම උනත් තමන්ට ලස්සනයි කියල හිතෙන ඕනෙම දෙයක් තමන්ගේ ශරීරයට කරන්න හැම කෙනෙක්ටම අයිතියක් තියනවා. පච්චයක් එහෙමත් නැත්නම් ටැටූ එකක් ගහනවා කියන්නේ අපේ රටේ නම් ටිකක් වැඩි කතා බහට ලක් වෙන දෙයක්. මෑත කාලයේදී නම් මේ ටැටූ ගහන එක ටිකක් වැඩියෙන් ජනප්‍රිය උනාට ගොඩ දෙනෙක් හිතා ගෙන පච්චයක් ගහල නම් ඒ කෙනා රස්තියාදු කාරයෙක් කියලා. කොහොම උනත් ලෝකයේ අනිත් රටවල් වල බොහෝ සෙයින් ප්‍රචලිත මේ ටැටූ එක හරිම සුන්දර කලාවක්. කවදා හරි ටැටූ එකක් ගහ ගන්න එක ඔයාගෙත් හීනයක් නම් ටැටූ එකක් ගහන්න කලින් මේ දේවල් ටික සලකලා බලන්න.

ටැටූ එක ගහන්නේ කොහේද?

ඔයාගේ ශරීරයේ ඕනේම තැනක ඔයාට ටැටූ එකක් ගහ ගන්න පුළුවන්. හැබැයි ඔයා ටැටූ එක ගහන්නේ කොහෙද කියන එක හොඳට කල්පනා කරලා ගන්න ඕනේ තීරණයක්. අපේ ශරීරයේ සමහර තැන් තියනවා හරිම සංවේදී. ඒ තැන් වල ටැටූ එකක් ගහද්දි හරියට පරිස්සම් වෙන්න ඕනේ.

ඒ වගේ හරිම සංවේදී ප්‍රදේශයක් තමයි රහස් අවයව. (Genitals) මේ වගේ ප්‍රදේශයක ටැටූ එකක් ගහලා ඒ ටැටූ එක බැක්ටීරියා ආසාදනයක් උනොත් එහෙම ඔයාලට ලොකු ප්‍රශ්නයක් වේවි.

අනිත් තැන තමයි අපේ තොල්. අපේ රටේ නම් එච්චරම ප්‍රසිද්ධ නැති උනත් තොල් පෙති වල ටැටූ ගහන එක ලෝකයේ බොහෝ රටවල් වල හරිම ජනප්‍රියයි. රහස් අවයව වගේම තොල් පෙතිත් හරිම සංවේදී. අපිට කෑම නොකා ඉන්න බැරි නිසා කෑම කනකොට ගොඩක් වෙලාවට මේ ටැටූ එක ආසාදනය වෙන්න පුළුවන්.

ටැටූ එක ගහන්නේ කොහෙද කියලා තීරණය කලාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ගැලපෙන මෝස්තරයක් තෝරා ගන්න එක. ඔයා ගහ ගන්න ටැටූ එකත් එක්ක ඔයාලාට ජීවිත කාලයම ඉන්න වෙනවා. ටැටූ අයින් කරන්න විවිධ ක්‍රම තිබ්බත් ඒවා හරිම මිල අධිකයි. ඒ වගේම තමයි ටැටූ එකක් ගහනවාට වඩා වේදනාවත් වැඩියි. ඔයාලට ටැටූ එක හරි නෑ කියලා හිතුනත් කරන්න තියන හොඳම දේ තමයි වෙන ටැටූ එකකින් කලින් ගහ ගත්ත ටැටූ එක හංගන එක. මේ හේතු හින්දා එක පාරට හිතුන ගමන් ටැටූ ගහන්න යන්න එපා. හොඳට හිතලා බලලා ටැටූ එක ගහ ගන්න. ගොඩක් වෙලාවට ඔයාලගේ පලවෙනි ටැටූ එක පොඩි එකක් නම් ගොඩක් හොඳයි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ලොකු ටැටූ එකක් ගහන්න ඔයාලට පුලුවන්ද, ඔයාලා මේ තීන්ත වලට ඇලජික් ද වගේ දේවල්. තව කෙනෙක්ගේ නමක් ටැටූ එක විදිහට ගහනවා නම් දෙතුන් පාරක් නෙමේ සිය දහස් පාරක් හිතලා බලන්න. ඒ වගේම තමයි වෙන භාෂාවකින් ටැටූ එක ගහනවානම් හැම වෙලේම ඒකේ තේරුම තමන්ගේ භාෂාවට හරවලා බලන්න.

මොන වගේ ටැටූ ගහන තැනක්ද හොඳ?

ඔයා මොන විදිහේ ටැටූ එකක් තෝරා ගත්තත් ටැටූ එකේ ලස්සන රදා පවතින්නේ ටැටූ එක ගහන කෙනා මත. ඒක හින්දා හොඳ දැනුමක්, හොඳ පළපුරුද්දක් තියන කෙනෙක් මේ සඳහා තෝරා ගන්න. ඒ වගේම තමයි මේ ස්ථානය සෞඛ්‍ය ආරක්ෂිතද කියලත් බලන්න ඕනේ. අඩු ගානට ටැටූ ගහන තැන් වලට යන්න එපා. ගාන ටිකක් වැඩි උනත් කමක් නෑ හොඳ තැනකට යන්න.

සුදුසු ඇදුමක් ඇදගෙන යන්න

ටැටූ එක ගහන දවසට ඔයා ටැටූ එක ගහන තැනත් එක්ක හිතලා බලලා සුදුසු ඇදුමක් ඇදගෙන යන්න. ටැටූ එක පපු ප්‍රදේශයේ හෝ පිටේ ගහනවානම් ඉක්මනින් ගලවන්න පුළුවන් සැහැල්ලු ඇදුමක් ඇදගෙන යන්න. ඔයාලට පුළුවන් නම් වැඩිපුර ඇදුමකුත් අරන් ගන්න. ටැටූ එක ගහන්නේ කකුලේ නම් ඇගට හිර දිග කලිසම් ඇදගෙන යන්න එපා. පහසුවෙන් උඩට උස්සන්න පුළුවන් කලිසමක් හරි කොට කලිසමක් හරි ඇදන් යන්න. ඒ වගේම තමයි ඔයාලට තියන ගණන් වැඩි හොඳ ඇදුම් ඇදගෙන යන්න එපා. සමහර විට ටැටූ එක ගහන තීන්ත බින්දු ඔයාලගේ ඇදුමට වැටෙන්න පුළුවන්.

ටැටූ එක ගහන වෙලාවට ...

ටැටූ එක ගහන්න ගියහම ඔයා ටැටූ එක ගහන තැන අනුව ඔයාට පහසු විදිහට ඉදගන්න. ටැටූ එක ගහන්න පටන් ගත්තහම පුළුවන් තරම් වැඩිය හෙලවෙන්නේ නැතුව ඉන්න බලන්න. කවුරු කොහොම කිව්වත් ටැටූ එකක් ගහනවා කියන්නේ හරිම වේදනාකාරී දෙයක්. මේ වේදනාව දරා ගන්න ප්‍රමාණය එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. සමහර අය නම් ටැටූ එක ගහන්න කලින් හිරි වැටෙන ක්‍රීම් එකක් ගාගෙන යනවා. හැබැයි සමහර ටැටූ ගහන අය කැමති නෑ මේ විදිහේ ක්‍රීම් එකක් ගානවට. මොකද සමහර වෙලාවට මේ ක්‍රීම් එකෙන් ඒ ප්‍රදේශයේ හමේ පොඩි පොඩි වෙනස් කම් ඇති කලොත් ඒක ටැටූ එකේ නිමාවට බලපාන්න පුළුවන්. ඒක හින්දා හිරි වැටෙන ක්‍රීම් එකක් ගාන්න කලින් ඔයාගේ ටැටූ එක ගහන කෙනත් එක්ක ඒ ගැන කතා කරලා බලන්න. ඔයාට මේ වේදනාව දරා ගෙන ඉන්න බැරි නම් හරි නැත්නම් පොඩි වෙලාවකට විවේකයක් ගන්න ඕනේ නම් හරි ඒ ගැන ටැටූ එක ගහන කෙනාට දන්වන්න. අනිත් දේ තමයි ගොඩක් ටැටූ ගහන තැන් වලට ඔයාට පුළුවන් තවත් ඔයාගේ යාලුවෙක් වගේ තවත් කෙනෙක්ව එක්ක යන්න.

ඔයාගේ අවධානය වෙන අතකට හරවන්න

ටැටූ එකේ වේදනාව ඔයාට වැඩියෙන්ම දැනෙන්නේ ඔයා ඒ ගැනම කල්පනා කර කර ඉන්න ගියොත් තමයි. ඒක හින්දා ටැටූ එක ගහලා ඉවර වෙනකන් ඔයාගේ අවධානය වෙන අතකට හරවන්න පුළුවන් දෙයක් කරන්න. ඔයාගේ යාලුවෙක් ඔයා ලග ඉන්නවනම් එයත් එක්ක කතා කරන්න. ඔයාගේ ෆෝන් එකෙන් සින්දුවක් අහන්න. ෆිල්ම් එකක් බලන්න. ඔයාගේ ලග යාලුවෙක් නැත්නම් ටැටූ එක ගහන කෙනත් එක්ක කතා කරනවද නැද්ද කියන එක ඔයා එතනදී හිතලා බලන්න ඕනේ. මොකද සමහර ටැටූ ගහන අය කැමතියි ඔයත් එක්ක කතා කරන ගමන් ටැටූ එක ගහන්න. හැබැයි සමහර අය ටැටූ එක ගහන ගමන් කතා කරන්න කැමති නෑ. එයාලා සම්පුර්ණ අවධානය ටැටූ එක ගහන එකට යොමු කරන්න තමා කැමති. තවත් වැදගත් දෙයක් තමයි ටැටූ එක ගහන දවසට කලින් දවසේ රෑ හොඳට නිදා ගන්න. ටැටූ එක ගහන දවසට හොඳට බඩ පිරෙන්න කාලා හොඳට වතුර බීලා යන්න.

ටැටූ එක ගැහුවට පස්සේ ...

ටැටූ එක ගහලා එතනින් එලියට ආවට පස්සේ ඔයාගේ ටැටූ එකේ වැඩේ එතනින් ඉවර නෑ. මේ ටැටූ එක සුව වෙනකන් අසාදනය නොවී තියා ගන්න ඔයාට සෑහෙන දෙයක් කරන්න වෙනවා. ටැටූ එකක් හොඳටම සුව වෙන්න දේවල් කීපයක් බලපානවා. ටැටූ එකේ විශාලත්වය, හැඩය, යොදා ගෙන තියන වර්ණ ප්‍රමාණය, ටැටූ එක ගහපු ස්ථානය වගේම එක එක්කෙනාගේ ශරීරයේ තුවාල හොඳ වෙන වේගයත් මේකට බලපානවා. මේ කරුණු වලට අමතරව ඔයාලා ටැටූ එක ගහලා තියෙන්නේ නිතරම නැමෙන දිග ඇරෙන සහ ඇදෙන තැන් වල නම් මේ ටැටූ එකක් සුව වෙන්න සාමාන්‍ය ටැටූ එකකට වඩා වැඩි කාලයක් ගත වෙනවා. (Eg - දණහිස්, වැලමිට, වළලුකර) ටැටූ එක ආසාදනය නොවී සුව කර ගන්න කරන්න ඕනේ දේවල් පටන් ගන්නේ ටැටූ එක ගහලා ඉවර උන මොහොතේ ඉදන්. ඔයාලගේ ටැටූ එක ඉක්මනින් සුව කර ගන්න කරන්න සුදුසු දේවල් සහ නොසුදුසු දේවල් තමයි මේ පහතින් තියෙන්නේ.

කල යුතු දේවල්

  • ටැටූ එක ගහන කෙනා ඔයාගේ ටැටූ එක ගහලා ඉවර උන ගමන් හරි විදිහට පරිස්සමට ඔයාගේ ටැටූ එක කවර් කරනවද කියල හොඳට බලන්න. මේ කවර් කරන එක කොච්චර වෙලා තියා ගන්න ඕනෙද කියලා හරියටම අහලා දැන ගන්න.
  • ගෙදර ඇවිත් පැය 4-5 පස්සේ ටැටූ කවර් එක අයින් කරලා එතන පරිස්සමට සෝදන්න. ටැටූ එක සෝදන්න විෂබීජ නාශක සබන් වර්ගයක් පාවිච්චි කරන එක තමයි ගොඩක්ම හොඳ. ඒ වගේම තමයි ටැටූ එක සේදුවට පස්සේ හොඳට එතන වතුර ටික පිහ දාන්න ඕනේ. එතන තුවා වලින් තදට පිහ දාන්න එපා. ටිෂු එකකින් හෙමින් සැරේ තෙත හින්දන්න. ටැටූ එක තියන තැන පොඩ්ඩක්වත් අතුල්ලන්න යන්න එපා.
  • ටැටූ එක ගහපු තැන හොඳ වෙනකන් හොඳ කොලිටි ටැටු ක්‍රීම් එකක් ගාන්න.
  • ටැටූ එක ඉක්මනට හොඳ වෙන්න උදව් වෙන්න හැම වෙලේම සමබර ආහාර වේලක් ගන්න.
  • ටැටූ එක හොඳටම හොඳ වෙනකන් ඔයාගේ ඇදුම්, බෙඩ් ශීට්, තුවා වගේ දේවල් හැම වෙලේම පිරිසිදුව තියා ගන්න.
  • ටැටූ එකට හිර වෙන ඇදුම් අදින්න එපා.
  • ටැටූ එක ආසාදනය වෙලා වගේ ඔයාලට හිතෙනවා නම් ඉක්මනින්ම වෛද්ය උපදෙස් පතන්න.

නොකල යුතු දේවල්

  • ටැටූ එක ගහලා අඩුම ගානේ සති දෙකක්වත් යනකන් පිහිනුම් තටාක වල, මුහුදේ, වැව් ගංගා වල නාන්න යන්න එපා. මේ තැන් වලින් ගොඩක් වෙලාවට ඔයාලගේ ටැටූ එකට විෂබීජ යන්න පුළුවන්.
  • ටැටූ එක ගහපු ස්ථානය කෙලින්ම ඉර අවුවට නිරාවරණය කරන්න එපා. එහෙම උනත් ඔයාලගේ ටැටූ එකේ හැඩය ටිකක් වෙනස් වෙන්න පුළුවන්.
  • හැම වෙලේම සැහැල්ලු ඇදුම් ඇදලා ටැටූ එකට හොඳට වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න.
  • ටැටූ එක හොඳ වෙනකන් වැඩිපුර දහදිය දමන කටයුතු වල යෙදෙන්න එපා. වැඩිපුර දහදිය මගින් ඔයාලගේ ටැටූ එක අසාදනය වෙන්න පුළුවන්.
  • ටැටූ එක උඩ සම තද වෙලා හෝ සම වේලිලා කෑලි කැඩෙනවා වගේ උනොත් බය වෙන්න එපා. මේ තත්වය සාමාන්‍යයි. මේ සමේ කෑලි කොයි වෙලාවකවත් ඇදලා ගලවන්න යන්න එපා. ඒක නිකන්ම හොඳ වෙලා යයි.

Contact DailyLife.lk

or drop an E-Mail to