සම ලස්සන කර ගන්න හොඳ කාන්තාවන්ට විතරද?

අද කාලයේ බොහෝ වෙලාවට කාන්තාවන් තමයි ලස්සනට ඉන්න හැම දේම කරන්නේ. පිරිමි කට්ටිය තමන්ගේ සම ගැන සැලකිලිමත් වෙනවා කාන්තාවන්ට සාපේක්ෂව ටිකක් අඩුයි. කාන්තාවන්ට විතරක් නෙමෙයි පිරිමි අයටත් සම ලස්සනට තියා ගන්න එක හරිම වැදගත් දෙයක්. මේ දවස් වල තියන දුවිලි සහිත පරිසරය, සම ගැන එච්චරම සැලකිලිමත් නොවීම, අපේ සමහර පුරුදු නිසා පිරිමි අයගේ සම වේලෙනවා. කොහොමත් ස්වභාවයෙන්ම පිරිමි අයගේ සම කාන්තාවන්ට වඩා ඝනකමට තමයි පිහිටලා තියෙන්නේ.

සමේ තෙතමනය ගැන සැලකිලිමත් වන්න.

අපි බොහෝ වෙලාවට මොයිස්චරයිසර් ගාලා එක පාරට ප්‍රථිපලයක් නැති උනහම ඒක හරි නෑ කියලා බැන බැන ඉන්නවා. මොයිස්චරයිසර් එකකින් හරි ප්‍රථිපල ගන්න එක හරි නැති එක හරි තියෙන්නේ අපේ අතේ. මුලින්ම කරන්න ඕනේ වැදගත්ම දේ තමයි ඔයාලගේ මුණට ගැලපෙන මොයිස්චරයිසර් එකක් තෝරා ගන්න එක. එකේදී ඔයාලාගේ සමේ ස්වභාවය හා මොයිස්චරයිසර් එකේ අඩංගු වෙලා තියන දේවල් ගැන හොඳට බලලා තමා අර ගන්න ඕනේ.

ඊළගට කරන්න ඕනේ මොයිස්චරයිසර් එක හරි විදිහට පාවිච්චි කරන එක. නියම ප්‍රථිපල ගන්න නම් මොයිස්චරයිසර් එකක් දවසට තුන් හතර පාරක් වත් ආලේප කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලා අත් සේදුවාට පස්සේ අත් වලත් නෑවාට පස්සේ සම්පුර්ණයෙන් මුළු ඇගේමත් ආලේප කරන්න ඕනේ. නෑවාට පස්සේ මුළු ඇගම හොඳට පිහදාලා තමයි මොයිස්චරයිසර් ගාන්න ඕනේ.

උණු වතුර ෂවර් එකට විරාමයක්

ඕනෑවට වඩා දිගු වෙලාවක් නෑවහම වතුර අපතේ යනවා විතරක් නෙමේ ඔයාලගේ සම වෙලෙන්නත් ඒක හේතුවක් වෙනවා. අපි සාමාන්‍යයෙන් විනාඩි 15ක් විතර නෑවහම හොඳටම ඇති. ඔයාලා උණු වතුර නානවානම් ඔයාලගේ සම වේලෙන එක තවත් වැඩි වෙනවා. ඒක හින්දා පුළුවන් තරම් සාමාන්‍ය වතුර නාන්න උත්සාහ කරන්න.

ඇග අතුල්ලන්න ගොරෝසු දේවල් භාවිතා කරන එක නතර කරන්න. ඒ වෙනුවට මෘදු දෙයක් සතියකට පාරක් දෙකක් වගේ භාවිතා කිරීම තුලින් සම වේලෙන එක අඩු කර ගන්න පුළුවන්.

අනිත් දේ තමයි අපි භාවිතා කරන සබන්. සමහර සබන් වලටත් සම හොඳටම වේලෙනවා. ඔයාලා අධික ලෙස දහදිය පිටවන වැඩක් කරලා නැත්නම් සබන් ගාන්න එපා. හැමදාම අත් යට හා ලිංගික ප්‍රදේශ හොඳින් පිරිසිදු කරන්න. මේ ප්‍රදේශ හැර ශරීරයේ අනිත් ස්ථානවල සබන් ගාන එක සතියකට දෙපාරකට තුන් පාරකට වගේ සීමා කරන්න. සබන් වෙනුවට ෂවර් ජෙල් එකක් හරි ෂවර් ක්‍රීම් එකක් හරි භාවිතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

සම හොඳින් කවර් කරන්න

කාන්තාවන් නම් කොහේ ගියත් කුඩයක් අරගෙන යනවා. එහෙමත් නැත්නම් කොහේ හරි හෙවනකට වෙලා ඉන්නවා. හැබැයි පිරිමි අයට නම් මේක ඒ හැටි ගානක් නෑ. පිරිමි අයත් තමන්ගේ සම මොන වෙලාවේ මොන විදිහට කවර් කරන්න ඕනේද කියන එක ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්න. ඔයාලා වැඩිපුර අව්වේ යනවනම් ශරීරය අව්වට නිරාවරණය වන ප්‍රදේශ හැකි තාක් දුරට අඩු කරන්න. අව්වේ යද්දී කුඩයක් අරන් ගන්න බැරි නම් තොප්පියක්වත් දාගෙන යන්න අමතක කරන්න එපා.

රැවුල කපද්දී පරිස්සමින්

හරි විදිහට රැවුල කපන එකත් මුහුණේ සම වියලෙන එක වලක්වා ගන්න තියන එක ක්‍රමයක්. නාන ගමන් හෝ නාලා ඉවර උන ගමන් රැවුල කැපීම තුලින් සම වියලෙන එක අඩු කර ගන්න පුළුවන්. ඔයාලා රැවුල කපන්නේ බේලේඩ් එකකින් නම් නිරන්තරයෙන් බේලේඩ් එක මාරු කරන්න අමතක කරන්න එපා. ඒකට හේතුව තමයි හතර පස් වතාවක් රැවුල කැපුවාට පස්සේ බේලේඩ් එක කැපෙන එක ටිකක් අඩු වෙනවා. රැවුල කපද්දී සම වියලෙන එක අඩු කර ගන්න පොඩි ටිප්ස් ටිකක් මෙන්න.

  • රැවුල කපන්න කලින් ප්‍රී ෂේව් ක්‍රීම් එකක් ගාන්න. මේකෙන් බේලේඩ් එක හොඳට සම මතු පිට යන්න උදව් වෙනවා.
  • ෂේවින් ක්‍රීම් ගාද්දී බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න.
  • රැවුල කපන්න පටන් ගන්න කලින් ෂේවින් ක්‍රීම් එක තත්පර 30-45ක් විතර තියන්න.
  • රැවුල කපලා ඉවර උනාට පස්සේ රැවුල කපුවාට පස්සේ ගාන ක්‍රීම් එකක් හරි තෙතමනය ආරක්ෂා වෙන ක්‍රීම් එකක් හරි ගාන්න.

පැහැපත් දෙතොල් කාන්තාවන්ට විතරද?

පිරිමි අයගෙත් තොල් වේලෙන එක නැති කර ගන්න තොල් වලට වැඩිපුර සැලකිල්ලක් හා ආරක්ෂාවක් ඕනේ කරනවා. අපි සීතල පරිසරයක් ඉන්නවානම් හරි ඉක්මනට තොල් වේලිලා පැලිලා යනවා. පිරිමි අය ලිප් බාම් එහෙම ගානවා අඩු හින්දා තොල් වේලුන ගමන් කරන්නේ හැම වෙලේම කෙල වලින් තොල් තෙමන එක. ඒ වෙනුවට ඔයාලාට ලිප් බාම් එකක් පාවිච්චි කරන්න පුළුවන්.

මේ හැම දේකටම වඩා හොඳම ස්වභාවික ක්‍රමය තමයි දවසකට හරි ප්‍රමාණයට වතුර බොන එක. හරි වතුර ප්‍රමාණය ගන්න ගමන් ඒත් එක්කම මේ දේවල් ටිකත් ඔයාලාට ට්‍රයි කරලා බලන්න පුළුවන්.

Contact DailyLife.lk

or drop an E-Mail to