හැමදාම එකම විදිහට සෝයා මීට් කාලා ඇති වෙලාද?

හැමදාම එකම විදිහට කන සෝයා මීට් එකට අපි අද පොඩි වෙනසක් කරමු.

අවශ්‍ය ද්‍රව්‍ය: සෝයා ව්‍යංජනය සදහා

  • පරිප්පු - 90g
  • සෝයා මීට් - 90g
  • මිරිස් කුඩු - තේ හැඳි 2 1/2
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • තුනපහ කුඩු - තේ හැඳි 1/2
  • උළු හාල් - තේ හැඳි 1/4
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/4
  • ලොකු ළුණු - 01
  • සුදු ළුණු - බික් 4-5
  • අමු මිරිස් - 02
  • රම්පේ
  • කරපිංචා
  • ලුනු - රස පදමට
  • කුරුදු - අගලක කෑල්ලක්
  • පොල් කිරි - කෝප්ප 1 1/2
  • අබ පේස්ට් - තේ හැඳි 01
  • තක්කාලි - 01
  • වතුර - කෝප්ප ½

අවශ්‍ය ද්‍රව්‍ය: තෙම්පරාදුව සදහා

  • පොල් තෙල් - මේස හැඳි 02
  • ළුණු
  • සුදු ළුණු
  • රම්පේ
  • කරපිංචා
  • තලා ගත්ත ඉඟුරු
  • වියළි මිරිස් - 02
  • බැදපු තුනපහ කුඩු - තේ හැඳි 01

සාදන ක්‍රමය:

  • මුලින්ම හැමදාම කරනවා වගේ සෝයා මීට් ටිකට උණු වතුර දාලා සෝයා මීට් ටික තම්බා ගන්න. සෝයා මීට් ටික හොඳට තැම්බුනහම වතුර පෙරලා වැඩිපුර වතුර ටික මිරිකලා අර ගන්න.
  • දැන් මේ සෝයා මීට් ටික දෙකට කපා ගන්න. ඔයාලා අරගෙන තියෙන්නේ පොඩි සෝයා මීට් නම් මේ විදිහට දෙකට කපන්න ඕනේ නෑ.
  • පරිප්පු ටික සෝදලා අරගෙන ඇතිලියකට දා ගන්න. මේ පරිප්පු එකට මිරිස් කුඩු තේ හැඳි 1/2 යි, කහ කුඩු ටිකකුයි, ලුනුයි, කුරුදුයි, කපා ගත්ත ළුණු ටිකකුයි, සුදු ළුණු ටිකකුයි, වතුර පොඩ්ඩකුයි දාලා පරිප්පු ටික තැම්බෙනකන් උයා ගන්න.
  • පරිප්පු ටික හොඳට තැම්බුනහම මේකට සෝයා මීට් ටික දා ගන්න.
  • ඊළගට මිරිස් කුඩු, තුනපහ කුඩු, උළු හාල්, ගම්මිරිස් කුඩු, රම්පේ, කරපිංචා, ලුනු, අමු මිරිස්, තක්කලි, අබ පේස්ට්, පොල් කිරි දා ගෙන හොඳට කලවම් කරන්න.
  • පොල් කිරි ටික හොඳට ඉදෙනකන් මේ සෝයා ටික උයා ගන්න. පොල් කිරි ටික හොඳට ඉදුනාට පස්සේ මේ සෝයා එක වෙනමම භාජනයකට දා ගන්න.
  • දැන් ඇතිලියට තෙල් ටිකක් දාලා තෙල් රත් වෙනකොට තලා ගත්ත ඉගුරුයි වියලි මිරිස් ටිකයි දා ගන්න.
  • දැන් රම්පේ, කරපිංචා, සුදු ළුණු, කපා ගත්ත ළුණු දා ගන්න. මේ ටික විනාඩි 2-3 විතර තෙලේ තියලා බැදපු තුනපහ කුඩු ටික එකතු කර ගන්න.
  • ඊළගට කලින් උයා ගත්ත සෝයා ටික මේ තෙල් ටිකත් එක්ක කලවම් කර ගන්න. තවත් විනාඩි 3-4 විතර මේ සෝයා ටික උයා ගෙන මේක ලිපෙන් බා ගන්න.
  • නිකන්ම සෝයා මීට් එකක් හදනවාට වඩා මේ විදිහට හදන සෝයා පරිප්පු එක හරිම රසයි.
Soya Dhal Curry
Soya Dhal Curry
Soya Dhal Curry
Soya Dhal Curry
Soya Dhal Curry

Contact DailyLife.lk

or drop an E-Mail to