අලුත්ම රසකට සැමන් කළු පොල්

හැමදාම තෙල් දාලා උයලා කන සැමන් අපි අද ටිකක් වෙනස් විදිහකට හදන්නයි යන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සැමන් - 280g
  • ගා ගත්ත පොල් - මේස හැඳි 2 1/2
  • කැකුළු හාල් - මේස හැඳි 1 1/2
  • ලොකු ළුණු - 1/2
  • සුදු ළුණු - බික් 4
  • තලාගත්ත ඉඟුරු - අගලක කෑල්ලක්
  • අමු මිරිස් - 03
  • කරදමුංගු - 04
  • කරාබු නැටි - 04
  • සුදුරු - තේ හැඳි 1/4
  • රම්පේ
  • උළු හාල් - තේ හැඳි 1/2
  • කරපිංචා
  • කුරුදු
  • අබ - තේ හැඳි 1/4
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • මිරිස් කුඩු - තේ හැඳි 02
  • තුනපහ කුඩු - තේ හැඳි 01
  • බැදපු තුනපහ කුඩු - තේ හැඳි 02
  • ගොරකා - තේ හැඳි 01
  • උකු පොල් කිරි - කෝප්ප 02
  • පොල් තෙල්
  • රස පදමට ලුනු
  • සාදන ක්‍රමය:

    • මුලින්ම පෑන් එකක් ලිපේ තියලා මේ රත් උන පෑන් එකට හාල් ටික දාලා ටිකක් වෙලා බැද ගන්න. හාල් වල ටිකක් පාට වෙනස් වීගෙන එනකොට මේ ටික පෑන් එකෙන් අයින් කර ගන්න.
    • ගා ගත්ත පොල් ටිකත් මේ පෑන් එකට දාලා දුඹුරු පාට වෙනකන් බැද ගන්න.
    • ඊළගට සුදුරුයි, අබයි, කරදමුංගු කරාබු නැටියි, උළු හාලුයි, කුරුදු පොතුයි, කරපිංචා ටිකයි මේ විදිහට බැද ගන්න.
    • දැන් අපි මේ බැදගත්ත දේවල් ඔක්කොම ටික එකට දාලා කුඩු කර ගන්න.
    • පෑන් එකකට තෙල් ටිකක් දාලා රත් කර ගෙන මේ තෙල් එකේ සැමන් ටික අතුරලා හෙමින් සැරේ ටිකක් වෙලා බැද ගන්න. ඔයාලා මේ සැමන් තෙලේ බදිද්දී පරිස්සමට ටිකක් ඈත් වෙලා බදින්න. සැමන් තෙලේ බැදෙනකොට පුපුරනවා. එතකොට ඒ රත් උන තෙල් ඔයාලගේ අගට විසි වෙන්න පුළුවන්. සැමන් ටික වෙලාවක් බැදුනට පස්සේ සැමන් කෑලි ටික පරිස්සමට අයින් කර ගන්න.
    • සැමන් බැදපු තෙල් එකටම තලාගත්ත ඉඟුරු සුදු ළුණු ටික දා ගන්න. ඉඟුරු සුදු ළුණු ටිකක් වෙලා තෙලේ බැදුනට පස්සේ රම්පේ කරපිංචා ටිකයි, අමු මිරිසුයි, කපා ගත්ත ළුණු ටිකයි දා ගන්න.
    • ඊළගට මේකට දා ගන්න ඕනේ මිරිස් කුඩුයි, තුනපහ කුඩුයි, බැදපු තුනපහ කුඩුයි, කහ කුඩුයි, ගම්මිරිස් කුඩුයි, කලින් කුඩු කරලා හදා ගත්ත හාල් පොල් මිශ්‍රණයයි.
    • මේ ටික ඔක්කොම හොඳට කලවම් කරලා ඉවර වෙලා ගොරකයි, ලුනුයි, මිටි කිරි ටිකයි දා ගන්න. මිටි කිරි ටික හොඳට උතුරනකන් මේ ටික උයා ගන්න.
    • මිටි කිරි ටික ඇති තරමට උයා ගත්තාට පස්සේ සැමන් ටික දාලා පරිස්සමට කලවම් කරලා තව ටිකක් වෙලා උයා ගන්න. සැමන් දා ගත්තාට පස්සේ ගොඩක් වැඩිය කලවම් කරන්න යන්න එපා. එතකොට සැමන් කෑලි ටික පොඩි වෙලා යනවා.
    • මේ සැමන් එක පාන්, බත්, ඉදි ආප්ප වගේ ඕනේම දෙයක් එක්ක හරිම රසයි.
    Salmon Kalu Pol Curry
    Salmon Kalu Pol Curry
    Salmon Kalu Pol Curry
    Salmon Kalu Pol Curry
    Salmon Kalu Pol

    Contact DailyLife.lk

    or drop an E-Mail to