අවුරුද්දට කන්න කිරි රස කිරි අලුවා

අලුත් අවුරුදු කෑම මේසෙට නැතුවම බැරි තවත් කෑමක් තමයි අලුවා. අලුවා එක එක විදිහට හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පොල් කිරි වලින් රසට කිරි අලුවා හදන හැටි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සීනි - 350g
  • උකු පොල් කිරි - කෝප්ප 02
  • බැද ගත්ත හාල් පිටි - 300g
  • උඩට හා යටට ඉසීමට බැද ගත්ත හාල් පිටි - 100g
  • කජු / රට කජු - 50g
  • කරදමුංගු - 10-12
  • ලුනු - තේ හැඳි 1 1/2

සාදන ක්‍රමය:

  • අලුවා හදන්න පටන් ගන්න කලින් මුලින්ම අලුවා හදලා දාන බෝඩ් එකට හාල් පිටි ටිකක් දාලා ලෑස්ති කරලා තියා ගන්න ඕනේ.
  • ඊළගට සීනියි පොල් කිරියි එකට දාලා මද ගින්දරේ දිය කර ගන්න. මේ වැඩේට ටිකක් ලොකු භාජනයක් අර ගන්න. මොකද පොල් කිරි ටික උණු වෙනකොට හරි ඉක්මනට එක පාරටම උඩ එනවා. ඔයාලගේ තාච්චිය පොඩි එකක් උනොත් එහෙම මේ පොල් කිරි ටික උතුරලා යයි. ඒ වගේම තමයි පොල් කිරි ටික උතුරන්න පටන් ගත්තහම අපි ඉක්මනට ඉක්මනට මේක හැඳි ගාන්න ඕනේ.
  • දැන් මේකට කුඩු කරගත්ත කරදමුංගු ටිකයි ලුනු ටිකයි දාන්න.
  • පැණි ටික හොඳට උණු වෙලා නුල් ඇදෙන ගානට එනකොට ලිප නිමලා පොඩියට කපා ගත්ත කජු ටික දා ගන්න. පැණි ටික ගොඩක්ම නුල් ඇදෙන ගානට එනකම් ඉන්න එපා. එතකොට අලුවා එක කෑලි කපා ගන්නත් කලින් හයි වෙලා යයි.
  • දැන් මේ පැණි එකට පිටි ටික ටික ඉක්මනින් කලවම් කරන්න. ඔයාලා කැමති නම් පිටි දාන්න කලින් මේ පැණි එකෙන් ටිකක් වෙනමම භාජනයකට අයින් කරන්න. බැරි වෙලාවත් ඔයාලා අතින් මේකට පිටි වැඩි උනොත් එහෙම මේ අරන් තියා ගත්ත පැණි ටික දාලා කලවම් කරන්න පුළුවන්.
  • පිටි ටික ටිකක් ගුලියක් වගේ ආවහම කලින් පිටි ගාලා ලෑස්ති කර ගත්ත බෝර්ඩ් එකට මේ ටික දා ගන්න. මේ පිටි ටික ගොඩක් ඝනකම් ගුලියක් වෙන්න ඕනේ නෑ. එහෙම උනොත් එහෙම කෑලි කපා ගන්නත් කලින් අලුවා ටික හයි වෙලා යයි.
  • දැන් මේ පිටි උඩින් බැදපු හාල් පිටි ඉහ ඉහ අලුවා එක පැතලි කර ගන්න. අලුවා ටික ගානට පැතලි කර ගෙන හදා ගත්තට පස්සේ ඔයාලා කැමති විදිහට මේ අලුවා ටික කෑලි වලට කපා ගන්න.
  • අලුවා ටික නිමුනාට පස්සේ සුළං වදින්නේ නැති භාජනයක මේ ටික අහුරා ගන්න. අලුවා ටික අසුරා ගන්නකොට අලුවා කෑලි වල වටේටම පිටි ගගා අසුරා ගන්න. එතකොට අලුවා කෑලි එකට ඇලෙන්නේ නෑ.
Kiri Aluwa before cutting
Kiri Aluwa
Kiri Aluwa
Kiri Aluwa
Kiri Aluwa
Kiri Aluwa
Kiri Aluwa

Contact DailyLife.lk

or drop an E-Mail to