නහර ගැටගැසීමට ස්වාභාවික විසදුමක්

නහර ගැට ගැසීම කියන්නේ වැඩිහිටියන් සහ ගැබිනි කාන්තාවන් අතර බහුලව දැකිය හැකි රෝගී තත්ත්වයක්. මෙය පොදු සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව පෙනුමෙනුත් ඉතා අප්‍රසන්න බවක් සිරුරට ගෙන දෙනවා. කාන්තාවන්ට පමණක් නොව පුරුෂ පාර්ශ්වයට ද මෙම නහර ගැට ගැසීමේ තත්ත්වය ඇතිවීමට හැකියාව තිබෙනවා. මෙම නහර ගැට ගැසීමේ තත්ත්වය Varicoses or Varicosities යන නම්වලිනුත් හඳුන්වනවා. විශේෂයෙන්ම එමඟින් සිදුවන්නේ නහර තුල ලේ ඕනාවට වඩා පිරීමය. මෙම රෝගී තත්ත්වය බහුලව දැකිය හැකි වන්නේ කකුල්වල සහ කලවා ප්‍රදේශයේය. එහෙත් සිරුරේ ඕනෑම ස්ථානයක මෙම තත්ත්වය ඇතිවීමට හැකියාව තිබෙනවා.

ඔක්සිජන් වලින් සමන්විත රුධිරය ඔබේ සිරුරේ සියලුම කොටස් වෙත සංසරණය කිරීම සඳහා ඔබේ ධමනි තුල මාංශපේශී හෝ ඉලාස්ටික් ඝන තට්ටුවක් පිහිටා තිබෙනවා. රුධිරය නැවත ඔබේ හදවතට තල්ලු කිරීම සඳහා ඔබේ ශිරා ,කපාට සහ අවට ඇති පේෂිවලින් උපකාර ලබාගත හැකි වෙනවා. රුධිරය ගලා යෑමේදී මෙම කපාට විවෘත වන අතර රුධිරය පහළට ඒම වැළැක්වීම සඳහා මෙම කපාට වැසී යනවා. නහර ගැට ගැසීම හේතුවෙන් මෙම කපාට නිසියාකාරව ක්‍රියා නොකිරීම නිසා රුධිර සංසරණ පද්ධතියට බාධා පැමිණෙනවා. එම නිසා රුධිරය හදවතට නිසියාකාරව තල්ලු කිරීමක් සිදු නො කෙරෙනවා. මෙම හේතුව නිසා නහර තුළ රුධිරය තැන්පත් වී නහර ගැට ගැසීමේ තත්වයක් හට ගැනෙනවා.

ඔබේ කකුල් වලට සහ උදරයට ඇතිවන යම් කිසි පීඩන තත්ත්වයක් හේතුවෙන් මෙම නහර ගැට ගැසීමේ තත්ත්වය හට ගැනීමට හැකියාව තිබෙනවා. නහර ගැට ගැසීමේ තත්වයක් ඇති වීමට බලපාන හේතු

  • ගර්භනී කාලයේදී ඔබේ ශරීරයේ ඇති වන හෝමෝන වෙනස්කම් නිසාත් කුස තුල සිටින දරුවා ගෙන් ඇති වන අතිරේක පීඩනය නිසා ත් ඔබේ දෙපාවල නහර ගැටගැසීමේ තත්වය ඇති විය හැකියි.
  • වයස අවුරුදු 50 ට වැඩි වීම :වයසින් මුහුකුරා ගිය විට ඔබේ ශිරා තුළ පිහිටන කපාට වඩා දුර්වල වන අතර ඒවා නිසියාකාරව ක්‍රියා නොකරයි.
  • ආර්තව හරනය: හෝමෝන වෙනස්වීම හේතුවෙන්.
  • තරබාරු කම (බර වැඩිවීම) මෙය ඔබගේ කකුල් වලට අතිරේක පීඩනයක් යොදවයි.
  • දිගු වේලාවක් සිටගෙන සිටීම: දිගු වේලාවක් එකම ස්ථානයක සිට ගෙන සිටීම හේතුවෙන් හදවතට රුධිරය පොම්ප කිරීමට බාධා පැමිණෙනවා.
  • පවුල් ඉතිහාසය (ජානවල බලපෑම)
  • ප්‍රමාණවත් ව්‍යායාම නොමැතිකම.

නහර ගැට ගැසීමේ තත්ත්වයක් ඇති විට ඔබට එය ඉතා පහසුවෙන් දැක ගත හැකි වෙනවා. ඔබේ දෙපාවල නහර විකෘති වී ඇති අන්දමත් ඒවා තද දම් පාට හෝ තද නිල්පාට තත්ත්වයට හැරී දිස් වෙනවා. බොහෝ දෙනෙකුට මෙම තත්ත්වය තිබුණත් එහි වේදනාවක් නොදැනෙනවා. මේ හේතුව නිසාම බොහෝ දෙනෙක් මේ පිළිබඳ සැලකිල්ලක් නොදක්වනවා. නමුත් මෙම නහර තුවාල වී ලේ ගැලීමක් ඇති වුවහොත් එය බරපතළ තත්ත්වයක් වෙනවා.

ඔබේ ජීවන රටාව යම් ආකාරයකින් වෙනස් කිරීම තුළින් මුල් අවධියේ දී මෙම තත්ත්වය වළක්වා ගත හැකි වෙනවා.

  • දිගු වේලාවක් සිටගෙන සිටීමෙන් වැලකීම තුළින්
  • ඔබේ ශරීරයේ බර පාලනය කිරීම තුළින්
  • නිසියාකාර ව්‍යායාම්වල යෙදීම තුළින්
  • සම්පීඩන මේස් භාවිතා කිරීම තුලින්

ඔබේ ජීවන රටාව වෙනස් කිරීම තුළින් මෙම තත්වය මග හරවා ගත නොහැකි නම් වහාම වෛද්‍යවරයකු වෙත යොමු වී ඒගැන අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා.

ඔබ නහර ගැට ගැසීමේ මුල් අවධියේ පසුවන්නේ නම් නිවසේදීම ඔබට කල හැකි පිළියම් කිහිපයක් වෙනවා. ඒ මගින් නහර ගැටගැසීමේ තත්ත්වය වර්ධනය වීම මන්දගාමී වෙනවා.

සම්පීඩන මේස් පැළඳීම හෝ stockings පැළඳීම

ඔබේ අවශ්‍යතාවය පරිදි ඔබට සරිලන මේස් වර්ගය වෙළඳපොලේ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. එහෙත් එය තෝරා ගැනීමේදී ඔබට වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගත යුතු වෙනවා. මේ මේස් මගින් රුධිරය ඉහළට ගලා යෑමට අවශ්‍ය පීඩනය ලබා දීමට උපකාරී වනවා. ඔබ මෙය උදේ සිට සවස් වනතුරු පැළඳ සිටීම වැදගත් වනවා.

නිතිපතා සැහැල්ලු සම්බාහනයක් කිරීම

නහර ගැට ගැසීමට ප්‍රධාන හේතුව වන්නේ නහර තුළ රුධිරය එකතු වීමය. ගැට ගැසුණු නහර ඉහලට සම්බාහනය කිරීම තුළින් රුධිර සංසරණය උත්තේජනය වෙනවා. මේ සඳහා ඔලිව් තෙල් හෝ පොල්තෙල් භාවිතා කළ හැකි වෙනවා.

භෞතික ක්‍රියාකාරකම්

නිසි රුධිර සංසරණයක් පවත්වා ගැනීම සඳහා ඔබේ නහර ශක්තිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. නිසියාකාර ව්‍යායාම් රටාවක් පවත්වාගැනීම තුළින් ඔබේ නහර ශක්තිමත් කර ගැනීමට හැකියාව තිබෙනවා. වඩාත් සුදුසුම ව්‍යායාමය වන්නේ ඇවිදීම. ඇවිදීම මගින් රුධිර සංසරණය වේගවත් වෙනවා. එපමණක් නොවේ පිහිනීම ඔබේ දෙපා වලට හොඳම ව්‍යායාමයක් වනවා. නිසි සෞඛ්‍ය මට්ටමක් පවත්වා ගැනීම තුළින් ද නහර ගැට ගැසීම වළක්වා ගත හැකි වනවා.

ඔලිව් තෙල් සම්බාහනය

රුධිර සංසරණය වේගවත් කිරීම නහර ගැට ගැසීම සඳහා හොඳ ප්‍රතිකර්මයක් වෙනවා. ඔලිව් තෙල් වලින් සම්බාහනය කිරීමෙන් රුධිර සංසරණය වේගවත් කර ගත හැකි වෙනවා. ඔලිව් තෙල් හා විටමින් E සමානව ගෙන මඳක් රත් කරන්න. නහර ගැට ගැසුනු ස්ථානවල ආලේප කර මිනිත්තු කිහිපයක් මසාජ් කරන්න. මේ ආකාරයට දිනකට දෙවරක් මාස දෙකක් පමණ කරන්න.

සුදුළුණු

නහර ගැට ගැසීමට තවත් හොඳ විසඳුමක් තමයි සුදු ළුණු. සුදුළුණු බික් හයක් ගෙන එය පිරිසිදු වීදුරුවකට දමා ගන්න. දොඩම් ගෙඩි 02- 03 යුෂ ගෙන එම වීදුරුවට දමා ගන්න. මෙයට ඔලිව් තෙල් මේස හැදි දෙකක් ද එක් කරන්න. භාජනය වසා පැය 12ක් තබන්න. පැය 12 කට පසු භාජනය හොඳින් සොලවා එයින් බින්දු කිහිපයක් ඔබේ ඇඟිලි තුඩුවලට අරගන්න. නහර ගැට ගැසුණු ස්ථාන වල තවරා මිනිත්තු 15 පමණ මසාජ් කරන්න. එම ස්ථානය රාත්‍රිය මුළුල්ලේ ම cotton රෙද්දකින් වසා තබන්න. මාස කිහිපයක් මේ ආකාරයට සිදු කරන්න.

ගොටුකොළ

දුර්වල නහර පණ ගැන්වීමට ඉතාමත් මහඟු ඖෂධයක් තමයි ගොටුකොළ කියන්නේ. ජලය සමඟ ගොටුකොළ අඹරා පේස්ට් එකක් ආකාරයට සාදා ගන්න. නහර ගැට ගැසුණු ස්ථානවල ආලේප කරන්න. මෙය මාස කිහිපයක් සිදු කරන්න. ඔබේ ආහාරයටද ගොටුකොළ එක්කර ගන්න.

දාස්පෙතියා මල්

දහස්පෙතියා මල් බොහොමයක් ගැටළු සඳහා ප්‍රතිකාර කිරීමට උපකාරී වෙනවා. දාස්පෙතියා මල් තුල විටමින් c සහ flavonoids අඩංගු වෙනවා. මෙමගින් සෛල අලුත්වැඩියාව සහ ප්‍රති නිෂ්පාදනය සිදු කෙරෙනවා. එපමණක් නොවේ රුධිර සංසරණය වේගවත් කිරීමට ද උපකාරී වෙනවා. දාස්පෙතියා මල් කෝප්පයක් වතුර කෝප්ප හතරක් සමඟ මිනිත්තු 5 ක් තම්බා ගන්න. Cotton රෙද්දක් එම වතුරෙන් පොඟවා අදාල ස්ථානයන්හි තබන්න. රෙදි කැබැල්ල සම්පූර්ණයෙන් නිවන තුරු එහි තබාගෙන සිටින්න. දිනකට කිහිප වරක් මාස කීපයක් සිදු කරන්න. දාස්පෙතියා මල් වතුරෙන් අඹරා පෝස්ට් එකක් ආකාරයෙන් සාදා ගන්න. නහර ගැට ගැසුණු ස්ථානවල ආලේප කරන්න. දිනකට දෙවරක් මාස කීපයක් මෙය සිදුකරන්න.

කෝමාරිකා, කැරට් සහ ඇපල් විනාකිරි මිශ්‍රණය

කෝමාරිකා කෝප්ප 1/2 , තලා ගත් කැරට් කෝප්ප 1/2 , සහ ඇපල් විනාකිරි ගෙන සියල්ල හොඳින් මිශ්‍රකර නහර ගැට ගැසුනු ස්ථානවල ආලේප කරන්න.

පහසු ආකාරයට අඳින්න

දිගුකාලීනව අඩි උස සෙරෙප්පු පැලඳීමෙන් වැළකී සිටින්න. සුවපහසු පැතලි සෙරෙප්පු ඔබේ රුධිර සංසරණය නිසියාකාරව පවත්වා ගැනීම සඳහා උපකාරී වෙනවා. ඕනෑවට වඩා ඉගටියට හිරවූ ඇඳුම් විශේෂයෙන් දෙපාවලට සිර වූ ඇඳුම් ඇදීමෙන් වැලකී සිටින්න. සිර වූ ඇඳුම් ඇඳීමෙන් රුධිර සංසරණයට බාධා පැමිණෙනවා.

තක්කාලි

නහර ගැට ගැසීම සඳහා ගෙදරදීම කරන්න පුළුවන් තවත් පිළියමක් තමයි තක්කාලි භාවිතා කිරීම. තක්කාලි asprin හා සමාන කාර්යයක් ඉටුකරන බැවින් රුධිර ඝන වීම වැළැක්වීම සහ රුධිර වාහිනී මත පීඩනය අඩුකිරීමට උපකාරී වෙනවා. තක්කාලි ගෙඩි කිහිපයක් ගෙන එය හොඳින් සෝදා ගන්න. තක්කාලි කැබලි කපා එම කැබැලි නහර ගැට ගැසුණු ස්ථානවල තබන්න. එය බැන්ඩේජ් පටියකින් හෝ කොට්න් රෙදි කැබැල්ලකින් ආවරණය කරන්න. ඔබට යම් සංවේදීතාවයක් දැනෙන තුරු මිනිත්තු කිහිපයක් තබාගෙන සිටින්න. ආවරණය ඉවත්කර බැන්ඩේජ් පටිය හොඳින් සෝදන්න . මේ ආකාරයට දිනකට පස් වතාවක් සතියක් යනතුරු සිදුකරන්න.

ප්‍රමාණවත් විවේකයක් ලබාගන්න

ඔබ දිගු කාලයක් සිටගෙන හෝ ඉඳගෙන කරන රැකියාවක නිරත වන්නේ නම් විටින් විට ප්‍රමාණවත් විවේකයක් ලබාගන්න.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්

අධික ලුනු හෝ අඩු පොටැසියම් ආහාර සහ සීනි අධික ආහාර ගැනීමෙන් වැළකී සිටින්න. දිගු කාලයක සිට ඔබ ලුනු අධිකව පරිභෝජනය කරන්නේ නම් ඔබේ සිරුරේ නිරන්තරයෙන් ජලය රඳවා ගැනීමක් සිදු කෙරෙනවා. මෙම හේතුව නහර ගැට ගැසීම වැඩි වීමට බලපානවා. එසේම සීනි වැඩි ප්‍රමාණයක් සහිත ආහාර ඉන්සියුලින් වැඩි ප්‍රමාණයක් ශරීරයට මුදාහරින අතර එමගින් අවසානයේදී Sodium සමතුලනය කිරිමට ඇති හැකියාවට බාධා පමුණුවනවා.

ඔබගේ ජීවන රටාවන් වෙනස් කර ඇති වුවද නහර ගැට ගැසීමේ තත්ත්වය නරක අතට හැරීමට වැඩි හැකියාවක් තිබෙනවා. ඉහත නිවස තුලදී සිදු කරගත හැකි පිළියම් සියලුදෙනාටම එකසේ බලපාන්නේ නැත. මෙයින් සමහරුනට සුවයක් ලැබෙන අතර සමහරුන්ට එමඟින් සුවයක් නො ලැබෙනවා. ඔබගේ තත්වය වඩාත් නරක අතට පත්වන්නේ නම් එය මුළු ශරීර සෞඛ්‍යයට ම බලපාන්නේ නම් විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීමට ඔබට සිදු වෙනවා. ශල්‍යකර්මයක් සිදුකිරීම හෝ වෙනත් ප්‍රතිකාර ඔවුන් නිර්දේශ කරනු ඇත.

Contact DailyLife.lk

or drop an E-Mail to