පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ කල් තියාම හදුනා ගනිමු

පියයුරු පිළිකාවක් කිව්වහම ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ සැත්කමක් මගින් පියයුර ඉවත් කලහම ඉවරයි කියලා. පියයුරු පිළිකාව එතරම් බරපතල නෑ කියලා තමයි සමහර අය හිතන්නේ. හැබැයි එහෙම කරලා සුවය ලබා ගන්න පුළුවන් වෙන්නේ පියයුරු පිළිකාව වෙනත් අවයව වලට පැතිරෙන්න කලින් කල් තියා හදුනා ගත්තොත් විතරයි. පියයුරෙන් එහාට පැතිරුණ පියයුරු පිළිකාවත් ඉතා භයකනයි. මේ විදිහට පැතිරෙන පිළිකාවක් අපේ පියයුරු වලට ආසන්නයේම තියන පෙනහළු හා මොලයට යාමේ දැඩි අවධානමක් තියනවා. ඒ නිසා පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ ගැන හොඳට දැනගෙන ඒවා කල් තියාම හදුනා ගන්න එක ඉතාම වැදගත්.

පියයුරු පිළිකා සුලබව හැදෙන්නේ කාන්තාවන්ට. නමුත් පිරිමි පුද්ගලයන්ටත් පියයුරු පිළිකා හැදෙන්න පුළුවන්. මේ පිළිකාව ඕනෑම වයසක කාන්තාවන්ට හැදෙන්න පුළුවන්. නමුත් වයස අවුරුදු 40ට වැඩි කාන්තාවන්ට වැඩි අවධානමක් තියනවා. පියයුරු පිළිකා හැදෙන්න නිශ්චිත හේතුවක් තවම සොයා ගෙන නැතත් පහත හේතු තියන අයට පියයුරු පිළිකාව වැළදීමේ වැඩි අවධානමක් තියනවා.

  • පවුල් පසුබිම හා ජානමය බලපෑම්: ඔබගේ මවට, සොහොයුරියට හෝ දුවට පියයුරු පිළිකාවත් ඇත්නම් ඔබටත් පියයුරු පිළිකාවක් හැදීමේ වැඩි අවධානමක් තියනවා
  • වයස අවුරුදු 12ට පෙර ප්‍රථම ඔසප් වීම සිදු වීම
  • වයස අවුරුදු 55තෙක් ආර්තවහරණය සිදු නොවීම
  • අවුරුද්දකට අඩු කාලයක් මවු කිරි ලබා දීම
  • අධික තරබාරුව
  • අධික මත්ද්‍රව්‍ය භාවිතය හා දුම් පානය
  • උපත් පාලන ගිලින පෙති භාවිතය
  • දරු පල නොමැතිවීම
  • ප්‍රථම දරු උපත වයස අවුරුදු 30 පසුවී සිදු වීම
  • ශාරීරික ව්‍යායාම් අඩු වීම

පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ

පියයුරු ආශ්‍රිත ප්‍රදේශයේ ගැටිති හා කිහිලි යට කුද්දෙටි ඇති වීම

පියයුරු පිළිකාවේ මුල්ම හා ප්‍රධානම ලක්ෂණය වන්නේ මෙයයි. පියයුරු පිළිකාවේදී ඇති වන මෙවන් ගැටිති බොහෝ විට කිසිම වේදනාවක් ගෙන නොදුන්නත් සමහර ගැටිති ඉතාමත් සුළු රිදීමක් ගෙන දෙන්න පුළුවන්. මෙවන් ගැටිත්තක් අපේ අතට දැනෙන්න බොහෝ කලකට පෙර මැමෝග්‍රෑම් පරීක්ෂාවක් තුලින් හදුනා ගත හැකියි.

තන පුඩුවෙන් ශ්‍රාවයක් නිකුත් වීම

පියයුරු පිළිකාවක මුල් අවධියේ පෙන්නුම් කරන තවත් ලක්ෂණයක් තමයි තන පුඩුවෙන් ශ්‍රාවයක් නිකුත් වීම. මේ ශ්‍රාවය පැහැදිලි අවර්ණ ශ්‍රාවයක්. සමහර වෙලාවට මේ ශ්‍රාවය ලේ පාට හෝ වෙනත් පාටක් ගන්න පුළුවන්.

පියයුරේ වේදනාවක් හෝ මොලොක් බවක් ඇති වීම

පියයුරේ ඇති වන වේදනාවක් හෝ මොලොක් බව පියයුරු පිළිකාවේ පෙර නිමිත්තක් විය හැකියි.

පියයුරේ ඇති වන වෙනස්කම්

පියයුරේ ප්‍රමාණය, භාහිර හැඩය, ස්වභාවය හෝ උෂ්ණත්වයේ වෙනස් වීම් ඇතිවිය හැකයි. විශේෂයෙන්ම පියයුර ප්‍රදේශයේ සම රතු පාටක් එක්ක දොඩම් ලෙල්ලක ස්වභාවය ගන්නවානම් එය අවධානම් පිළිකාවක් එහෙමත් නැත්නම් දුර ගිය පියයුරු පිළිකාවක ලක්ෂණයක් විය හැකියි.

තන පුඩුවේ ඇති වන වෙනස්කම්

පියයුරු පිළිකාවේ අවධානම් තත්වයකදී තන පුඩුව ඉරි තලා ගිය ස්වභාවයක් එක්ක තන පුඩුව ඇතුලට එබිලා ගිය ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඒත් එක්කම තන පුඩුව ආශ්‍රිත ආසාදන හට ගන්නත් පුළුවන්.

ඔයාලත් මේ රෝග ලක්ෂණයක් එහෙමත් නැත්නම් පියයුරේ කිසියම් හෝ වෙනස් වීමක් දැක්කොත් වෛද්‍ය උපදෙස් පතන්න ප්‍රමාද වෙන්න එපා. පියයුරු පිළිකාවක් ගෙදරදීම කල් තියා හදුනා ගන්න මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාව කර ගන්න. ඊට අමතරව ඔබ වයස අවුරුදු 40ට වැඩි කාන්තාවක් නම් මැමෝග්‍රෑම් පරීක්ෂාවක් සිදු කර ගන්න. කල් තියාම හදුනා ගත්තොත් පියයුරු පිළිකාව සුව කර ගන්න පුළුවන්. පියයුරු පිළිකාවට ඔබේ වටිනා ජීවිතය බිලි ගන්න දෙන්න එපා.

Contact DailyLife.lk

or drop an E-Mail to