කොහොඹ ශාකයේ ගුණ

කොහොඹ ගස ශ්‍රී ලංකාව , ඉන්දියාව , පාකිස්තානය , තායිලන්තය , මැලේසියාව සහ ඉන්දුනීසියාව ඇතුළු දකුණු ආසියාතික රටවල් වලට ආවේණික වූ ශාකයක්. කෙසේවෙතත් කොහොඹ ශාකයේ මව්බිම ලෙස සැලකෙන්නේ ඉන්දියාවයි. වර්තමානය වන විට කොහොඹ ගස බොහෝ රටවල් වල දක්නට ලැබෙනවා. කොහොඹ ගසේ උද්භිද විද්‍යාත්මක නාමය තමයි AZADIRACHTA INDICA. සිංහලෙන් කොහොඹ , දෙමළෙන් VEPPAI සහ ඉංග්‍රීසියෙන් MARGOSA, NEEM TREE යනුවෙන් හඳුන්වනවා. කොහොඹ කියන්නේ ඉතාමත් වේගයෙන් වැඩෙන ගසක්. සාමාන්‍යයෙන් මීටර් 15 - 20 තරම් උසට වැඩෙනවා. මීටර් 40 දක්වා උස්වූ කොහොඹ ගස්ද දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු කොහොඹ ගසක බඳ කොටසේ වට ප්‍රමාණය මීටර් 15 - 20 පමණ වෙනවා.

කොහොඹ කොළය දිගින් සෙන්ටිමීටර් 20 - 40 පමණ වෙනවා. කොහොඹ කොළ අධික තිත්ත රසයෙන් යුක්තයි. කොහොඹ කොළ අවුරුද්ද පුරාවටම දැකිය හැකියි. කොහොඹ ශාකය මහෝගනී පවුලට අයත් වෙනවා. රටවල් තිහකට අධික සංඛ්‍යාවක් කොහොඹ ශාකය බෙහෙත් නිෂ්පාදනයට සහ රූපලාවණ්‍ය නිෂ්පාදනයන් සඳහා භාවිතා කරනවා. මුල්, පොත්ත , පලතුරු , මල් , බීජ සහ කොළ ඇතුළුව ගසේ සියලුම කොටස් ප්‍රයෝජනයට ගැනෙනවා.

කොහොඹ ගසේ කුඩා මීපැණි සුවඳින් යුත් සුදුපාට මල් හටගන්නවා. මල් කිනිත්තක් සාමාන්‍යයෙන් 30cm පමණ දිගු වන අතර එහි තනි තනිව මල් 150 - 200ක් පමණ හටගන්නවා. මල් පෙත්තක විශ්කම්භය 1cm වෙනවා. එවැනි පෙති පහකින් එක් මලක් සෑදෙනවා. මල් මී මැස්සන් සහ අනෙකුත් කෘමීන් විසින් පරාගනය කරනවා. අවුරුදු 2 - 5 ක් පමණ වන විට ගෙඩි නිෂ්පාදනය ආරම්භ කරනවා. අවුරුදු 10 - 15 පමණ වයස් වූ ගසක හොඳ ගෙඩි නිෂ්පාදනයක් දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් මෙම බීජයක් 1 -2 cm දිගු වෙනවා. මෙය ඒක බීජ ගණයට අයත් වෙනවා. ඉදුන විට කොළ පැහැති ගෙඩිය කහ පැහැයට හැරෙනවා. හොඳින් වැඩුණු කොහොඹ ශාකයක් වසරකට බීජ 50,000 – 200,000 පමණ නිෂ්පාදනය කරනවා. මෙම බීජ වැටී මව් ශාකය වටා කුඩා පැළ හට ගන්නවා. ඊට අමතරව කුරුල්ලන් හා සතුන් මගින් ද මෙම බීජ ව්‍යාප්ත වෙනවා.

මුල් ප්‍රයෝජනවත් වන ආකාරය:

පාංශු ඛාදනය වැළැක්වීම සහ පාංශු සංරක්ෂණය හා වැඩිදියුණු කිරීම සඳහා කොහොඹ ශාකයේ මුල් ප්‍රයෝජනවත් වෙනවා. තවද පසේ සාරවත් භාවය හා ජල ධාරිතාවය වැඩි දියුණු කරන අතර ආම්ලික පස් උදාසීන කරණය කළ හැකිද වෙනවා. මේ නිසා පහත් බිම්වල වැඩි වශයෙන් කොහොඹ ශාකය වගා කෙරෙනවා.

කදෙහි ඇති ප්‍රයෝජන:

කොහොඹ ලීය දිලීර හා කෘමීන්ගේ ආක්‍රමණ වලට ගොදුරු නොවන නිසා කල්පවත්නා ගෘහභාණ්ඩ සහ බෝට්ටු නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නවා. කෘෂිකාර්මික උපකරණ, බෙර හා කැටයම් රූප නිපදවීම සඳහාද භාවිතා කෙරෙනවා. මෙම ලීය හොඳින් ඔප දමා ගත් විට මහෝගනී ලියට සමානකම් දක්වනවා.

මෙහි අනෙකුත් පළතුරු, මල්, බීජ සහ කොළ සියල්ල ආයුර්වේද කටයුතු සහ රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගැනෙනවා. ආයුර්වේදයේ කොහොඹ ශාකය හඳුන්වන්නේ “සර්ව රෝග නිවාරණී” යනුවෙන්. මුල්, පොතු , පලතුරු , මල් , බීජ සහ කොළ සියල්ල ආයුර්වේදයේදී අභ්‍යන්තර ප්‍රතිකාර සඳහා සහ ආලේප කිරීම සඳහා උපයෝගී කර ගන්නවා.

කොහොඹ වල ඖෂධීය වටිනාකම:

  • බැක්ටීරියා නාශක හැකියාව කොහොඹ සතුව පවතිනවා.
  • ඇඳුම රෝගය සුව කරනවා
  • වකුගඩු වලට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නවා
  • දියවැඩියාව පාලනය කරනවා.
  • මුඛ සෞඛ්‍ය වර්ධනය කිරීමට උපකාරී වෙනවා.
  • ලාදුරු රෝගය සුව කිරීමට ද උපකාරී වෙනවා.
  • රුධිර සංසරණය වැඩි කරනවා.
  • මැලේරියා රෝගයට ප්‍රතිකාර කිරීමට භාවිතා කරනවා.
  • කෘමි උවදුර පාලනය කිරීමට යොදා ගන්නවා.
  • බඩේ අමාරු සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නවා.
  • ස්වසන ආබාධ ඇති අයට ප්‍රයෝජනවත් වනවා.
  • පණු අමාරුවට කුඩා ළමුන්ට ලබා දෙනවා
  • උකුණන් නැති කිරීමට යොදා ගන්නවා.
  • සමේ රෝග වලට ඉතාමත් සුදුසුයි.
  • හෘදයාබාධ පාලනය කරනවා.
  • උපත් පාලනය කිරීමේ හැකියාවද තිබෙනවා.
  • ආතරයිටිස් වලට ප්‍රතිකාර කිරීමේ දී යොදා ගන්නවා.
  • පිළිකා මර්දකයක් ලෙසද කටයුතු කරනවා.

රූපලාවන්‍යයේදී කොහොඹ වල වැදගත්කම

කුරුලෑ සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගනී

කොහොඹ කොළ ටිකක් ගෙන වතුරට දමා වතුර පාට වනතුරු තම්බන්න. මෙය බෝතලයකට දමා වසා තබන්න. සාමාන්‍යයෙන් ඔබ මුහුණ සෝදන අවස්ථාවේදී මින් ටිකක් එම ජලයට එකතු කරන්න. කොහොඹ කොළ අඹරා face pack එකක් සාදා එය ආලේප කිරීමෙන් කුරුලෑ නැති කර ගත හැකි වෙනවා.

ටෝනර් එකක් ලෙස කොහොඹ කොළ

කොහොඹ කොළ තම්බා සාදාගත් ජලය පුළුන් කැබැල්ලක තවරා මුහුණේ ආලේප කරන්න. මෙමගින් කුරුලෑ, සහ කළු ලප ඉවත් වෙනවා.

කොහොඹ කොළ තම්බා ගත් ජලය ඔළුවේ ගෑමෙන් හිස්හොරි ඉවත් වෙනවා. හිසකෙස් ගැලවී යාම ද තරමක් දුරට අඩු කෙරෙනවා.

කොහොඹ කොළ ටිකක් දොඩම් ලෙලි සමග තම්බා ගන්න. එයට යෝගට්, මී පැණි සහ කිරි යොදා ගනිමින් පැක් එකක් ආකාරයට සාදා ගන්න. මෙය මුහුණේ ආලේප කර වියළෙන තෙක් තබා සෝදා හරින්න. මුහුණට පැහැයක් ලැබෙනවා.

හිසකෙස් සහ හිස් කබලේ ප්‍රශ්න සඳහා

හිස කෙස් ෂැම්පු කිරීමෙන් පසු කොහොඹ කොළ තම්බාගත් වතුරෙන් හිස සෝදා හරින්න. වියලි හිස්කබලට මෙන්ම හිස්සොරි සඳහා ද හිසකෙස් වැටීම පාලනය කිරීම සඳහා ද මෙය උපකාරි වෙනවා.

පිළිස්සුම් තුවාල සඳහා

පිළිස්සුම් තුවාල ඇතිවූ ස්ථානය කොහොඹ වතුරින් සෝදන්න. ඒ අවට ඇති සම ඉක්මනින් යථා තත්වයට පත්වීමට මෙමගින් හැකියාව ලැබෙනවා. විසබීජ නාශකයක් ලෙසද ක්‍රියා කරනවා.

පැපොල සෑදුන විට දී

පැපොල සෑදුන අවස්ථාවලදී කොහොඹ කොළ අතුරා ඒ මත නිදාගන්න සලස්වනවා. තවද කොහොඹ කොළ තැම්බූ වතුරෙන් ස්නානය කරනවා.

ඇස් සේදීම සඳහා

කොහොඹ කොළ මිනිත්තු 10ක් පමණ තම්බා ගන්න. සම්පූර්ණයෙන්ම නිවුණ පසු එම ජලයෙන් ඇස් සෝදා හරින්න. ඇස් කසන අවස්ථාවන්වලදී මෙය භාවිතා කළ හැකිය.

සෙම්ගෙඩි සෑදුන අවස්ථාවලදී

කොහොඹ කොළ තැම්බූ වතුරින් උගුර සෝදන්න.

දෙපයට සුවයක් සඳහා

කොහොඹ කොළ තම්බාගත් මද උණුසුම් ජලයේ දෙපා විනාඩි විස්සක් පමණ තබාගෙන සිටින්න.

Contact DailyLife.lk

or drop an E-Mail to