Monkeypox අපිටත් එයිද?

අවුරුදු දෙකක ඉදන් කොරෝනා වසංගතයෙන් බැට කාලා රටේ අනෙකුත් ප්‍රශ්ණත් එක්ක හෙම්බත් වෙලා ඉන්න අපිට දැන් තවත් වසංගතයක පෙර නිමිති පහල වෙලා තියෙන්නේ. ඒ තමයි වඳුරු පැපොල එහෙමත් නැත්නම් Monkeypox. Monkeypox කියන්නේ ලෝකෙට අළුතෙන්ම ආපු වයිරස් එකක් නෙමේ. දැනට අවුරුදු ගණනාවක ඉදන් අප්‍රිකානු රටවල් වල තියන රෝගයක්. හැබැයි මේ රෝගය මේ තරම් කතා බහට ලක් උනේ මේ දවස් වල මේ රෝගය ටිකක් අසාමාන්‍ය විදිහට යුරෝපා රටවල් කීපයක පැතිරී යාමත් එක්ක.

මේ වනවිට ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්වීඩනය, ඇමරිකාව හා එක්සත් රාජධානිය වගේ රටවල් කීපයකින්ම Monkeypox සහිත රෝගීන් වාර්තා වෙලා තියනවා.

Photo Courtesy: https://www.who.int/

මේ Monkeypox වයිරස් එක කොරෝනා වයිරස් එක තරම්ම දරුණු හා බෝවන සුළු නැහැ. හැබැයි තවමත් කොරෝනා වත් හරියටම පාලනය කරගෙන නැති දුප්පත් රටවල් වල මේ වයිරස් එක වේගයන් ව්‍යාප්ත උනොත් එහෙම ඒක මුළු ලෝකෙටම ලොකු ප්‍රශ්නයක් වේවි.

Monkeypox කියන්නේ මොකක්ද?

Monkeypox කියන්නේ අසාදිත රෝගයක්. මේ රෝගය ඇති වෙන්න හේතුව තමයි Monkeypox වයිරස් එක. Monkeypox මරණාසන්න රෝගී තත්වයක් නෙමේ. ආසාදනය වීමේ සම්භාවිතාවත් පවතින්නේ අඩු මට්ටමක. මේ වයිරසය එතරම් දරුණු එකක් නොවුනත් පොඩි ළමයි, ගර්භනී කාන්තාවන් හා විවිධ රෝගී තත්ත්ව නිසා දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියක් සහිත අය මේ රෝගයෙන් විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතුයි. Monkeypox වයිරස් එක මුලින්ම හදුනා ගැනුනේ 1958දී. මේ වයිරසය පළමුවෙන්ම හදුනා ගත්තේ වදුරන් තුලින් නිසා තමයි ඒකට Monkeypox කියලා නම ලැබුනේ.

Monkeypox රෝගයේ රෝග ලක්ෂණ

Monkeypox රෝගයේ මුලික රෝග ලක්ෂණ වෙන්නේ උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, වසා ගැටිති ඉදිමීම හා අධික වෙහෙසක් දැනීම. මේ රෝග ලක්ෂණ වලින් පස්සේ ඇග හැම තැනම කුෂ්ඨයක් වගේ පොඩි පොඩි බිබිලි හට ගන්නවා. මේ බිබිලි ගොඩක් වෙලාවට මුලින්ම ඇති වන්නේ මුහුණේ. ඉන් පසුව තමයි අත්, පා, හා ශරීරයේ අනෙකුත් තැන් වලට යන්නේ. කට ඇතුලේ, ලිංගාශ්‍රිත ප්‍රදේශ වල සහ ඇස් වටාත් මේ බිබිලි හට ගන්නවා. රෝගය හැදුන කෙනෙක්ට සති 2ක් 4ක් විතර මේ රෝගය නිසා දුක් විදින්න සිද්ද වෙනවා. මේ රෝගය ගොඩක් දුරට සාමාන්‍ය පැපොල රෝගයට සමානයි.

Photo Courtesy:https://commons.wikimedia.org/

රෝගය බෝ වෙන්නේ කොහොමද?

රෝගය ගොඩක් වෙලාවට බෝ වෙන්නේ අසාදිතයෙක් සමග සමීප සම්භන්දතා පැවැත්වීම මගින්. අසාදිතයෙක්ගේ බිබිලි වල ශ්‍රාවය ගෑවුනු ඇදුම්, තුවා, ඇද ඇතිරිලි වගේ දේවල් වලිනුත් තවත් කෙනෙකුට රෝගය බෝ වෙන්න පුළුවන්. වයිරසය අසාදිත සතෙක් සපා කෑම, සීරීම හා අසාදිත සතෙකුගේ මස් ආහාරයට ගැනීම මගින් සතෙකුගෙන් මිනිසුන්ට මේ වයිරසය බෝ වන්න පුළුවන්.

Monkeypox වලට බෙහෙත් තියනවද?

සති දෙකක් හතරක් ඇතුලත කාල සීමාවකදී මේ රෝගය කිසිම බෙහෙතක් නැතිව ඉබේම හොඳ වෙලා යනවා. Monkeypox රෝගයට වෙනමම බෙහෙතත් හොයාගෙන නැහැ. සාමාන්‍ය පැපොල වලට ගහන එන්නත් තමයි දැනට පාවිච්චි කරන්නේ. මේ එන්නත මගින් Monkeypox වයිරසය ආසාදනය වීම 85%කින් පාලනය කරන්න පුළුවන්.

හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාම, රෝගී පුද්ගලයන්ගේ ඈත් වී සිටීම හා රෝගය වැළදුන පුද්ගලයන් හොඳටම රෝගය සුව වෙනකන් අනෙකුත් පුද්ගලයන්ගෙන් වෙන් වී සිටීම මගින් මේ රෝගය බෝ වීම අවම කර ගන්න පුළුවන්.

Contact DailyLife.lk

or drop an E-Mail to