දත් කැක්කුමට ගෙදරදීම සහනයක්

ඔබ වයස අවුරුදු 16- 25ත් අතර නම් කෙසේ හෝ අවුරුදු 30ට පෙර කෙළවරේ දත් නැත්නම් හක්කේ දත් ඒමට පටන් ගන්නවා. මෙය ඔබට දැඩි ලෙස වේදනා ගෙන දෙන්නක් වෙනවා.

මුඛයේ කෙළවර දත් හතරක් තියෙනවා . මේවට widsom tooth කියලත් කියනවා .මේ දත් ටික එන්නේ අනිත් දත් ඔක්කොම ආවට පස්සේ. එම නිසා සමහර වෙලාවට මේ හක්කේ දත් 4 නිසියාකාරව උඩට එන්න ඉඩ මදි වෙන්න පුළුවන්. ඒක නිසා එයාලට ඉඩක් හදාගෙන ආයාසයෙන් උඩට එන්නයි සිද්ධවෙන්නේ. මේ හේතුව නිසා එම දත් අනෙත් දත් අතර හිරවෙන්න පුළුවන්. එසේත් නැතිනම් විවිධ හැඩවලට මේ දත් වර්ධනය වීමට ඉඩ තියෙනවා. මෙසේ දත් නිසියාකාරව නොපිහිටිම හේතුවෙන් ආහාර ගැනීමේදී අපහසුතාවයන් දැනීම, හිසරදය, විදුරුමස් ඉදිමීම, නිසියාකාරව දත් මැදීමට නොහැකි නිසා දත් වල මැලියම් බැඳීමෙන් දුර්ගන්ධයක් හැමීම වේදනාව ආදී රෝග ලක්ෂණ ඇතිවීමට ඉඩ තියෙනවා.

මෙසේ ඇතිවන වේදනාව දරාගැනීමට බැරි තරම් එකක්නම් හෝ අඛණ්ඩ වේදනාවක් පවතී නම්ඔබ කළ යුත්තේ දන්ත වෛද්‍යවරයකු හමුවට ගොස් ප්‍රතිකාර ගැනීම ය. මෙහිදී හොඳම ක්‍රමය වන්නේ එම දත ගලවා අයින් කර දැමීමය. ඒත් දන්ත වෛද්‍යවරයකු හමුවට යාමට පෙර මෙම දත් කැක්කුමෙන් මිදීම සඳහා ගෙදරදීම ඔබට කළ හැකි පිලියම් කීපයක් තියනවා.

  • රතු ළූණු

පිළිකා මර්දක ගුණයක් සහ ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් රතු ළූණු සතුව පවතිනවා. මෙම හේතුව නිසා ඔබේ මුඛයේ කැක්කුම පවතින දත් වටා ඇති විෂබීජ මර්දනය කිරීමේ හැකියාවක් රතු ළූණු වලට තිබෙනවා. එම නිසා ඔබට එයින් සහනයක් ලබාගත හැකි වෙනවා. ඔබ කල යුත්තේ ලූණු පෙත්තක් කපාගෙන එය අදාළ දත් කැක්කුම් තිබෙන ස්ථානයන් වලට ළූණු ඉස්ම හොඳින් තැවරෙන පරිදි පොඩි වනතෙක් හපන්න. ඔබට එහෙම හපන්නට අපහසුනම් ළූණු පෙත්තක් අදාළ ස්ථානයෙහි මිනිත්තු කීපයක් තබාගෙන සිටින්න.

  • ලුණු වතුර

ලුණු කුඩු තේ හැන්දක් උණු වතුර සමඟ මිශ්‍ර කරන්න. එය හොඳින් දිය වන තෙක් කලවම් කරන්න. සාදාගත් මිශ්‍රණයෙන් තප්පර 30 ත් 60 ත් අතර කාලයක් හොඳින් කට සෝදන්න. මෙය දිනකට දෙවතාවක් තුන්වතාවක් සිදුකරන්න.

  • සුදු ළූණු

සුදු ළූණු ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිජීවක ගුණයන්ගෙන් යුක්තය. මේ ලක්ෂණ නිසාම සුදු ළූණු සතුව වේදනාවට සහනයක් ලබා දීමේ හැකියාව පවතිනවා. තවද සුදු ළූණු වලට ඔබේ මුඛයේ ඇති බැක්ටීරියා මර්ධනය කිරීමට ද පුළුවන් වෙනවා. සුදු ළූණු ගෙඩියක් සමඟ කරාබුනැටි දෙකක් තුනක් ගෙන හොඳින් අඹරාගන්න. මෙසේ තලපයක් ආකාරයට සාදාගත් මිශ්‍රණය අදාල කැක්කුම ඇති ස්ථානයන්හි විනාඩි කිහිපයක් තබාගෙන සිටින්න.

  • පේර කොළ

ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් සහ වේදනාවන්ට ඉක්මන් සහන සැලසීමේ ගුණයක් පේර කොළ සතුව පවතිනවා. දත් කැක්කුම් නැති කිරීමට පේර කොළ මහඟු ඖෂධයක් වෙනවා. ඔබ කළ යුත්තේ පේර කොළ කිහිපයක් ගෙන අදාළ වේදනාවන් ඇති ස්ථානවලට එහි යුෂ හොඳින් තැවරෙන පරිදි කටේ දමා හැපීම පමණයි.

  • කරාබු නැටි සහ කරාබුනැටි තෙල්

මුඛයේ කෙළවරේ දත් වලට පමණක් නොව ඕනෑම දත් කැක්කුම් අවස්ථාවකදී කරාබුනැටි සහ කරාබුනැටි තෙල් භාවිතා කළ හැකිය. ශල්‍ය කර්මයන් හි දී තාවකාලිකව වේදනාව නොදැනෙන පිණිස යොදාගන්න ඖෂධ වල එනම් වේදනා නාශක ඖෂධ වල තිබෙන ගුණයන් කරාබු නැටි වල තිබෙනවා. ඒ විතරක් නෙවේ විෂබීජ නාශක ගුණය නිසාම ඇතිවන ආසාදන වළක්වනවා. සම්පූර්ණ කරාබු නැට්ටක් ගෙන ( කෑලි වලට කපා හෝ පොඩි නොකර ගත්) අධික කැක්කුම පවතින ස්ථානයෙහි තබා ගෙන සිටින්න. මේ සඳහා ඔබට කරාබුනැටි තෙල් වුවත් භාවිතා කළ හැකිය. පුළුන් කැබැල්ලකට තෙල් ස්වල්පයක් ගෙන අදාළ ස්ථානයෙහි තවරන්න. ඔබට ඉක්මන් සහනය සැලසේවි.

  • Peppermint

දත් කැක්කුම නැති කිරීම සදහා නිවසේදී භාවිතා කරන තවත් එක් ක්‍රමයක් තමයි peppermint භාවිතා කිරීම. වේදනාව අඩුකර ගැනීමට උපකාරීවන නිර්වින්දක ගුණාංගවලින් මෙම පැළෑටිය පොහොසත් වෙනවා. පෙපර්මින්ට් තෙල් ස්වල්පයක් වේදනාව ඇති ස්ථානයෙහි විනාඩි කිහිපයක් තබා සිටින්න. ඉන්පසු ලුණු කුඩු ස්වල්පයක් උණු වතුරට දමා සාදාගත් මිශ්‍රණයෙන් කට සෝදන්න.

  • වැනිලා සාරය

දත් කැක්කුම සඳහා භාවිතා කළ හැකි තවත් සාර්ථක ක්‍රමයක් තමයි වැනිලා සාරය භාවිතා කිරීම. වැනිලා ස්වල්පයක් ගෙන දත් කැක්කුම ඇති දතේ සහ අවට ප්‍රදේශයේ ආලේප කරන්න. එසේත් නොමැති නම් පුළුන් කැබැල්ලකට වැනිලා සාරය ටිකක් ගෙන අදාළ ස්ථානයෙහි විනාඩි කිහිපයක් තබාගෙන සිටින්න.

  • පිපිඤ්ඤා

පිපිඤ්ඤා පෙති භාවිතා කිරීමත් දත් කැක්කුම නැති කරගැනීමට යොදා ගන්නා තවත් එක් ක්‍රමයකි. පිපිඤ්ඤා ස්වභාවිකව සීතල වන අතර එය වේදනාව අඩු කර ගැනීමට පලදායී ලෙස භාවිතා කළ හැකි වෙනවා.පිපිඤ්ඤා හොඳින් පිරිසුදු කොට පෙති කපාගන්න.විනාඩි කිහිපයක් ශීතකරණය තුළ තබා ගන්න.සිසිල් වූ පිපිඤ්ඤා පෙති ගෙන වේදනාව ඇති ස්ථානයට පිටතින් කම්මුල්වල තබාගෙන සිටින්න.

  • ඉඟුරු

ඉඟුරු සතුව පවතින බැක්ටීරියා නාශක ගුණය නිසා දත් කැක්කුම නැති කිරීමට ඉඟුරු උපකාරී වෙනවා. මේ සදහා ඔබට අවශ්‍ය කරන්නේ ඉගුරු මුල් කිහිපයක්. හොඳින් සෝදා ගත් ඉඟුරු මුල් සිහින්ව කපාගන්න. කපා ගත් ඉගුරු මුල් වේදනාව ඇති ස්ථානයේ මිනිත්තු කිහිපයක් තබාගෙන සිටින්න.

  • කුරුදු තෙල්

දත් කැක්කුම ඇති ස්ථානයෙහි කුරුදු තෙල් ස්වල්පයක් ආලේප කරන්න.

අමතර උපදෙස් කිහිපයක්

  • වේදනාවට ලක් වූ දතට පිටින් කම්මුලට අයිස් පැකට්ටුවක් තබන්න.
  • ක්ෂණික සහනයක් ලබාගැනීම සඳහා බලපෑමට ලක් වූ ප්‍රදේශය මත චීස් කෑල්ලක් තබාගන්න.
  • ප්‍රතිබැක්ටීරියා දියරයකින් මුඛ සෝදන්න.
  • ඕනෑම දැඩි ආහාරයක් නොගැනීමට වගබලාගන්න
  • ඔබේ දත් සහ දිව හොඳින් මදින්න.
  • පැණි රස ආහාර ගැනීම හැකිතාක් දුරට අඩු කරන්න.
  • ප්‍රමාණවත් ජලය පානය කරන්න.

ඔබ දත් කැක්කුමෙන් පෙළෙන විට ඉහත සඳහන් ක්‍රම අනුගමනය කිරීමෙන් යම් සහනයක් ලබාගත හැකියි. නමුත් ඉහත සඳහන් පිළියම් සියල්ල තාවකාලික විසඳුමක් බව මතක තබා ගන්න. සමහර පුද්ගලයන් සඳහා මෙම ක්‍රමවේදයන් භාවිතා කළ හැකි අතර සමහර පුද්ගලයන් සඳහා මෙය නොගැලපෙන බව මතක තබා ගන්න.ඔබ දැඩි ලෙස වේදනා විදිනවනම් හොදම විකල්පය වන්නේ දන්ත වෛද්‍යවරයකු වෙත යෑම යි.

Contact DailyLife.lk

or drop an E-Mail to