වේදනාකාරී උෂ්ණ බිබිලි වලට ගෙදරදීම සහනයක්

අපේ මුඛයේ විටින් විට ඇති වන කුඩා උෂ්ණ බිබිලි වල වේදනාව අත් නොවිදපු කෙනෙක් අප අතර නොමැති තරම්. මේ කුඩා බිබිලි මුඛය තුල, තොල් ඇතුල් පැත්තේ හා උගුරේ හට ගන්න පුළුවන්. මේවයේ තියන වේදනාවට අමතරව මේ බිබිලි හින්දා සමහර අයට ආහාර සැපීමේ හා ගිලීමේ අපහසුතා පවා ඇති වෙනවා. ඇත්තටම කියනවනම් මේ බිබිලි වල තරමට නෙමේ මේවයින් ඇතිවන වේදනාව. අපි ගොඩ දෙනෙක් මේ බිබිලි ඇති උනහම එච්චර ගණන් ගන්නේ නෑ . හැබැයි හොඳට සෞක්‍ය සම්පන්නව ඉන්න නම් ඔයාලට ඇති වෙලා තියෙන්නේ මොන වගේ උෂ්ණ බිබිලක්ද කියන දේ ගැන දැනුවත්වීම හරිම වැදගත්.

උෂ්ණ බිබිලි දෙවර්ගයක් තියනවා. එකක් තමයි පොඩියට එන උෂ්ණ බිබිලි. මේවා සැරින් සැරේට ඕනේ කෙනෙක්ගේ මුඛයේ හට ගන්න පුළුවන්. මේ බිබිලි සාමාන්‍යයෙන් 3-10mm පමණ තමයි විශාල වෙන්නේ. ඒ වගේම තමයි දින 10-14 වගේ කාලයක් ඇතුලත මේ බිබිලි කිසිම ප්‍රතිකාරයක් නොකරත් ඉබේම සුව වෙලා යනවා.

අනෙක් වර්ගය තමයි සංකීර්ණ උෂ්ණ බිබිලි. මේවා ප්‍රමාණයෙන් 10mm ට වඩා විශාලව ඒ වගේම තුවාලය ගැඹුරට පිහිටනවා. සමහර අයට මේ තුවාලය වටේට ඝන බෝඩරයක් වගේත් එනවා. මේ බිබිලි සාමාන්‍ය බිබිලි වලට වඩා වේදනාවක් ගෙන දෙනවා.

උෂ්ණ බිබිලි ඇති වීමට හේතු

උෂ්ණ බිබිලි ඇති වෙන්න නිශ්චිත හේතුවක් තවම හොයා ගෙන නෑ. සරල උෂ්ණ බිබිලි ඇති වෙන්න කරණා කීපයක් බල පාන්න පුළුවන්. වැඩිපුර ඇසිඩ් සහිත ආහාර ගැනීම, තමන්ගේම දත් වලට මුඛය ඇතුලත තුවාල වීම, ආසාත්මිකතා, ඔබ ගන්නා සමහර බෙහෙත්, සමහර දත් ආලේපන හා ආතතියෙන් පෙලීම ඉන් කීපයක්. ගැබිණි කාලයේ ඇතිවන හෝමෝන වෙනස්වීම් නිසාත් මේ උෂ්ණ බිබිලි හට ගන්න පුළුවන්.

හැබැයි ඔයාලාට සංකීර්ණ උෂ්ණ බිබිලක් හට ගත්තොත් ඒ ගැන ඔයාලාට වැඩි සැලකිල්ලක් දක්වන්න වෙනවා. මොකද මේ සංකීර්ණ උෂ්ණ බිබිලි හට ගැනීම ඔබේ ශරීර අභ්‍යන්තරයේ ඇති කිසියම් රෝගී තත්වයක් නිසා වන්න පුළුවන්. විටමින් ඌනතා, යකඩ ඌනතා, ගස්ට්‍රිටිස් වගේ දේවල් සංකීර්ණ උෂ්ණ බිබිලි ඇති වෙන්න පුළුවන් හේතු කීපයක්. ඒ නිසා ඔයාලටත් මේ වගේ සංකීර්ණ උෂ්ණ බිබිලක් ඇති උනොත් අනිවාර්යෙන්ම දන්ත වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා.

උෂ්ණ බිබිලි වේදනාවට ගෙදරදීම සහනයක්

සරලව ඇති වන උෂ්ණ බිබිලි කිසිම ප්‍රතිකාරයක් නොකර උනත් දින කීපයක් ඇතුලත ඉබේම සුව වෙලා යනවා. මේ බිබිලි වල වේදනාව යම් කිසි දුරකට අඩු කර ගන්නත් තුවාලය සුව වීම ඉක්මන් කර ගන්නත් අපිට ගෙදරදීම කර ගත හැකි දේවල් ටිකක් තියනවා.

  • ලුණු වතුරෙන් කට සේදීම හරිම සරල ඒ වගේම බොහෝ මුඛ රෝග වලට සහනයක් ගෙන දෙන ප්‍රතිකාර ක්‍රමයක්. ලුණු තේ හැන්දක ප්‍රමාණයක් වතුර කෝප්ප භාගයක දිය කරලා හොඳින් මුඛය සෝදන්න. උෂ්ණ බිබිලි තියන ප්‍රදේශයට හොඳින් ලුණු වතුර ටික යන විදිහට මුඛය සෝදන්න.

  • මී පැණි කියන්නේ හැම ගෙදරකම වගේ තියන හරිම වටිනා බෙහෙතක්. උෂ්ණ බිබිලි තියන ස්ථානයේ දවසකට දෙතුන් පාරක් මී පැණි ටිකක් ආලේප කරන්න. තුවාලය සුව වෙනකන්ම මේ ප්‍රතිකාරය කරන්න.

  • බොහොමයක් රෝග වලට සුව ගෙන දෙන කහ ඉතාමත් හොඳ බෙහෙතක්. කහ වල තියන විෂබීජ නාශක ගුණය නිසාම ආයුර්වේදයේ තියන ගොඩක් ප්‍රතිකාර සදහා කහ යොදා ගැනෙනවා. ටිකක් ඝනව කහ පේස්ට් එකක් හදා ගෙන උෂ්ණ බිබිලි තියන තැන කොටන් බෝල් එකකින් ගාන්න. විනාඩි 15ක් 20ක් විතර කහ ටික තියෙන්න ඇරලා හෝදලා දාන්න.

  • Probiotic යෝගට් වල තියන විෂබීජ නාශක හැකියාව නිසා උෂ්ණ බිබිලි ඉක්මනින් සුව කර ගැනීමට මේ යෝගට් රුකුලක් වෙනවා. ඒ වගේම යෝගට් වල තියන සිසිල් ගතිය නිසා උෂ්ණ බිබිලි වලට සිසිල් සහනයක් ලබා දෙනවා.

  • කරාබු නැටි තෙල් වල තියන Eugenol කියන සංඝටකය වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරනවා. උෂ්ණ බිබිල තියන ස්ථානයේ කරාබු නැති තෙල් ටිකක් අලේප කරලා ටික වෙලාවකට පස්සේ හෝදලා දාන්න.

  • කෝමාරිකා ජෙල් උෂ්ණ බිබිලි වලින් සහනයක් ලබා ගන්න පුළුවන් තවත් ඖෂධයක්. උෂ්ණ බිබිල තියන ස්ථානය කොටන් බෝල් එකකින් තෙත හින්දලා කෝමාරිකා ජෙල් ටිකක් ආලේප කරන්න. තුවාලය සුව වෙනකන්ම මේ ප්‍රතිකාරය දිගටම කරන්න.

  • උෂ්ණ බිබිලි තියනකොට ගොරෝසු දත් බුරුසු වලින් දත් මදින්න යන්න එපා. මේ ගොරෝසු කෙදි උෂ්ණ බිබිලි වල වැදුනොත් තුවාලේ තවත් ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒක හින්දා උෂ්ණ බිබිල හොඳ වෙනකන් මෘදු කෙදි තියන දත් බුරුසුවක් තෝරා ගෙන තුවාලේ වදින්නේ නැති වෙන්න පරිස්සමට දත් මදින්න.

  • සමහර අය කරන දෙයක් තමයි උෂ්ණ බිබිලක් ආවහම හැම වෙලේම මේ බිබිලේ දිව ගානවා. එහෙම කලහම වෙන්නේ තුවාලේ තවත් වැඩි වෙන එක විතරයි.

මේ ගෙදරදී කරන්න පුළුවන් ප්‍රතිකාර සමහර අයට හොඳටම හරි යනවා උනාට සමහර අයට හරි යන්නේ නෑ. ඒක හින්දා මේ ප්‍රතිකාර කරන්න කලින් තමන්ට තියන ආසාත්මිකතා හා සෞක්‍ය තත්වය පරීක්ෂා කර ගැනීම වැදගත් වෙනවා.

දන්ත වෛද්‍යවරයකු හමු විය යුතු අවස්ථා

  • ඔබට සංකීර්ණ උෂ්ණ බිබිලක් ඇති උන අවස්ථාවක
  • තුවාලය අසාමාන්‍ය ලෙස විශාල හා වේදනාකාරී උන විට
  • ක්‍රමක්‍රමයෙන් තුවාලය විශාල වීම
  • උෂ්ණ බිබිල ඇති වීමත් සමගම උණ ගැනීම
  • කෙටි කාලයක් තුලදී නැවත නැවත උෂ්ණ බිබිල හට ගැනීම
  • උෂ්ණ බිබිලි තුවාලය සති 03ට වඩා පැවතීම
  • දියර වර්ග ගිලීමට පවා අපහසු වීම

Contact DailyLife.lk

or drop an E-Mail to