ලස්සනට zebra cake හදමු

Zebra cake එකේ patterns ටික එක පාරටම දැක්කහම ඔයාලට හිතෙයි මේ කේක් එක හදා ගන්න එක හරිම අමාරුයි කියලා. හැබැයි. මේ කේක් එක හදා ගන්න එක හරිම ලේසියි. ඔයාලා චොක්ලට් කේක්, බටර් කේක් එහෙම හදන්න දන්නවනම් මේ කේක් එක හදා ගන්න එක තවත් සිම්පල්. එහෙනම් ඉතින් බඩු ටික එහෙම ලෑස්ති කරගෙන අපි කේක් එක හදන්න පටන් ගම්මු.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි - 250g
  • බේකින් පව්ඩර් - තේ හැඳි 02
  • බටර් / මාගරින් - 250g
  • සීනි - 250g
  • බිත්තර - 04
  • වැනිලා - තේ හැඳි 01
  • කිරි කෝප්ප - 1/2
  • කොකෝවා පව්ඩර් - 25g

සාදන ක්‍රමය:

  • ඉස්සෙල්ලාම බේකින් පව්ඩර් ටිකයි පිටි ටිකයි එකට දාලා කලවම් කර ගන්න.
  • ඊළගට මාගරින් ටිකයි සීනි ටිකයි හොඳට ක්‍රීම් වගේ වෙනකන් බීට් කර ගන්න.
  • මාගරින් ටික හොඳට බීට් වේගෙන එනකොට බිත්තර එක එක දදා බීට් කර ගන්න.
  • දැන් වැනිලා ටික එකතු කරන්න.
  • පිටි ටික ටික දදා මේ බැටර් එක හොඳට කලවම් කර ගන්න.
  • පිටි ටික හොඳට කලවම් උනාට පස්සේ කිරි ටිකත් දාලා කලවම් කර ගන්න.
  • වෙනමම බෝල් එකක් අරගෙන ඒකට කොකෝවා පව්ඩර්, සීනි මේස හැන්දක් හා කිරි කෝප්ප කාලක් දාලා කලවම් කරන්න.
  • දැන් කලින් හදාගත්ත බටර් කේක් බැටර් එකෙන් භාගයක් අරගෙන මේ කොකෝවා ටිකත් එක්ක කලවම් කර ගන්න.
  • පොඩි හැන්දක් අරගෙන බේකින් පෑන් එකේ මැද ඉදන් patterns හදන්න පටන් ගන්න.
  • ඉස්සෙල්ලම සුදු පාට බැටර් එකෙන් ටිකක් දාන්න. ඊළගට කොකෝවා බැටර් එකෙන් ටිකක් දාන්න.
  • මේ විදිහට මාරුවෙන් මාරුවට බැටර් දෙකම ඉවරවෙනකන් බේකින් පෑන් එකට දාගන්න.
  • දැන් මේ කේක් එක 180 C ක් උෂ්ණත්වයක විනාඩි 40ක් 45ක් විතර බේක් කර ගන්න.
  • කේක් එක බේක් වෙලා ඉවර උනාට පස්සේ කේක් එක මැද්දට toothpick එකක් ගහලා බලන්න කේක් එක හොඳට බේක් වෙලා තියනවද කියලා. Toothpick එකේ කේක් ඇලිලා අවොත් එහෙම තව විනාඩි 05ක් 10ක් විතර වැඩිපුර කේක් එක බේක් කර ගන්න.
  • කේක් එක බේක් කර ගත්තට පස්සේ අවන් එකෙන් එලියට අරගෙන විනාඩි 15ක් 20ක් විතර කේක් එක නිමෙන්න තියලා කෑලි කපා ගන්න.
  • අනිත් දවසේ ඔයාලත් නිකන්ම චොක්ලට් කේක් එකක් බටර් කේක් එකක් හදන්නේ නැතුව මේ විදිහේ zebra කේක් එකක් හදලා බලන්න.
Zebra Cake
Zebra Cake

Contact DailyLife.lk

or drop an E-Mail to