හැමදාම එකම විදිහට සෝයා මීට් කාලා ඇති වෙලාද?
හැමදාම එකම විදිහට කන සෝයා මීට් එකට අපි අද පොඩි වෙනසක් කරමු.
අවශ්‍ය ද්‍රව්‍ය: සෝයා ව්‍යංජනය සදහා
- පරිප්පු - 90g
- සෝයා මීට් - 90g
- මිරිස් කුඩු - තේ හැඳි 2 1/2
- කහ කුඩු - තේ හැඳි 1/2
- තුනපහ කුඩු - තේ හැඳි 1/2
- උළු හාල් - තේ හැඳි 1/4
- ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/4
- ලොකු ළුණු - 01
- සුදු ළුණු - බික් 4-5
- අමු මිරිස් - 02
- රම්පේ
- කරපිංචා
- ලුනු - රස පදමට
- කුරුදු - අගලක කෑල්ලක්
- පොල් කිරි - කෝප්ප 1 1/2
- අබ පේස්ට් - තේ හැඳි 01
- තක්කාලි - 01
- වතුර - කෝප්ප ½
අවශ්‍ය ද්‍රව්‍ය: තෙම්පරාදුව සදහා
- පොල් තෙල් - මේස හැඳි 02
- ළුණු
- සුදු ළුණු
- රම්පේ
- කරපිංචා
- තලා ගත්ත ඉඟුරු
- වියළි මිරිස් - 02
- බැදපු තුනපහ කුඩු - තේ හැඳි 01
සාදන ක්‍රමය:
- මුලින්ම හැමදාම කරනවා වගේ සෝයා මීට් ටිකට උණු වතුර දාලා සෝයා මීට් ටික තම්බා ගන්න. සෝයා මීට් ටික හොඳට තැම්බුනහම වතුර පෙරලා වැඩිපුර වතුර ටික මිරිකලා අර ගන්න.
- දැන් මේ සෝයා මීට් ටික දෙකට කපා ගන්න. ඔයාලා අරගෙන තියෙන්නේ පොඩි සෝයා මීට් නම් මේ විදිහට දෙකට කපන්න ඕනේ නෑ.
- පරිප්පු ටික සෝදලා අරගෙන ඇතිලියකට දා ගන්න. මේ පරිප්පු එකට මිරිස් කුඩු තේ හැඳි 1/2 යි, කහ කුඩු ටිකකුයි, ලුනුයි, කුරුදුයි, කපා ගත්ත ළුණු ටිකකුයි, සුදු ළුණු ටිකකුයි, වතුර පොඩ්ඩකුයි දාලා පරිප්පු ටික තැම්බෙනකන් උයා ගන්න.
- පරිප්පු ටික හොඳට තැම්බුනහම මේකට සෝයා මීට් ටික දා ගන්න.
- ඊළගට මිරිස් කුඩු, තුනපහ කුඩු, උළු හාල්, ගම්මිරිස් කුඩු, රම්පේ, කරපිංචා, ලුනු, අමු මිරිස්, තක්කලි, අබ පේස්ට්, පොල් කිරි දා ගෙන හොඳට කලවම් කරන්න.
- පොල් කිරි ටික හොඳට ඉදෙනකන් මේ සෝයා ටික උයා ගන්න. පොල් කිරි ටික හොඳට ඉදුනාට පස්සේ මේ සෝයා එක වෙනමම භාජනයකට දා ගන්න.
- දැන් ඇතිලියට තෙල් ටිකක් දාලා තෙල් රත් වෙනකොට තලා ගත්ත ඉගුරුයි වියලි මිරිස් ටිකයි දා ගන්න.
- දැන් රම්පේ, කරපිංචා, සුදු ළුණු, කපා ගත්ත ළුණු දා ගන්න. මේ ටික විනාඩි 2-3 විතර තෙලේ තියලා බැදපු තුනපහ කුඩු ටික එකතු කර ගන්න.
- ඊළගට කලින් උයා ගත්ත සෝයා ටික මේ තෙල් ටිකත් එක්ක කලවම් කර ගන්න. තවත් විනාඩි 3-4 විතර මේ සෝයා ටික උයා ගෙන මේක ලිපෙන් බා ගන්න.
- නිකන්ම සෝයා මීට් එකක් හදනවාට වඩා මේ විදිහට හදන සෝයා පරිප්පු එක හරිම රසයි.