ගල් වෙන්නේ නැතුව ගල් බනිස් හදමු

ගල් බනිස් කිව්වහම අපි හැමෝටම මතක් වෙන්නේ තද බනිස් ගෙඩියක්නේ. මේකට ගල් බනිස් කියලා නම ලැබිලා තියෙන්නෙත් මේ තද ගතිය හින්දම තමා. ගල් බනිස් මුලින්ම හදුන්වලා දුන්නේ එක්සත් රාජධානියෙන්. අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් අඩු කාලෙකින් අපිට මේ ගල් බනිස් හදා ගන්න පුළුවන්. ඔයාලාට පොඩි බබාලා එහෙම ඉන්නවනම් එයාලගේ ඉස්කෝලේ කෑම පෙට්ටියට දාලා අරින්නත් ඔයාලට මේ ගල් බනිස් හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය: ගල් බනිස් 9 සඳහා

  • පාන් පිටි - 200g
  • සීනි - 60g
  • ලුනු සහිත බටර් - 100g
  • බිත්තර - 01
  • වියළි මිදී - 50g
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • වැනිලා - තේ හැඳි 01
  • නැවුම් කිරි - මේස හැඳි 02
  • සාදන ක්‍රමය:

  • මුලින්ම පාන් පිටි ටිකට බේකින් පවුඩර් ටික දාලා හලලා බෝල් එකකට දා ගන්න.
  • දැන් මේකට සීනියි වැනිලා ටිකයි දා ගන්න.
  • ඊළගට පිටි වලට බටර් ටික දාලා ඇඟිලි තුඩු වලින් කලවම් කරන්න. පිටියි බටර් ටිකයි හොඳට කලවම් උනහම මේ ටික පාන් කුඩු වගේ වෙනවා.
  • දැන් මේකට වියළි මිදී ටික දා ගන්න.
  • ඊළගට බිත්තරේ ටිකක් බීට් කරලා ඒ ටිකත් පිටි මිශ්‍රණයටම දාලා හොඳට කලවම් කරන්න.
  • අන්තිමට කිරි ටික දාලා කලවම් කරන්න.
  • මේ මිශ්‍රණය අපි සාමාන්‍යයෙන් බනිස් හදනකොට වගේ ගොඩක් නීඩ් කරන්නේ නෑ. දා ගත්ත අමුද්‍රව්‍ය ටික කලවම් වෙනකන් විතරක් කලවම් කරන්න. අනිත් දේ තමයි මේ මිශ්‍රණය තෙත ඇලෙන සුළු මිශ්‍රණයක් වෙන්න ඕනේ.
  • දැන් හැන්දකින් මිශ්‍රණයෙන් ටිකෙන් ටික අරගෙන බේකින් ට්‍රේ එකක් උඩින් තියා ගන්න. මිශ්‍රණය අතට අරන් ගොඩක් බෝල කරන්න එපා.
  • දැන් මේ ගල් බනිස් ටික 190C ට ප්‍රී හීට් කරපු අවන් එකක විනාඩි 20-25 විතර බේක් කර ගන්න.
  • බේක් කර ගත්ත ගල් බනිස් ටික අවන් එකෙන් එලියට අරගෙන ටිකක් වෙලා නිමෙන්න තියලා රස විදින්න.
  • Rock Cakes before baking
    Rock Cake / Rock Bun
    Rock Cake / Rock Bun
    Rock Cake / Rock Bun
    Rock Cake / Rock Bun

    Contact DailyLife.lk

    or drop an E-Mail to