තෙලට මිරිසට අඹ කරියක්
අඹ කියන්නෙ ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය සහ පහසුවෙන් සොයාගත හැකි පලතුරක්. පළතුරක් විතරක්ම නෙමෙයි අඹ මාලුව ටත් උයලා කනවා. අඹ මාලුව හදාගන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා. ඒ අතර ඉන් එක් ක්‍රමයක් අද මම ඔයාලට කියලා දෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය:
- බාගෙට ඉදුණු අඹ ගෙඩි 02 (500 g)
- තුනපහ කුඩු තේ හැදි 02
- බැදගත් මිරිස් කුඩු තේ හැඳි 01
- ලුණු කුඩු මේස හැඳි 01
- කහ කුඩු තේ හැදි ½
- පොල්තෙල් මේස හැඳි 02
- සීනි මේස හැඳි 02
- විනාකිරි තේ හැදි 01
- ලොකු ලූනු ගෙඩි 01
- අමු මිරිස් කරල් 01
- සේර කැබැල්ලක්
- ඉඟුරු
- සුදුලූනු
- කරද මුංගු
- කරාබු නැටි
- රම්පෙ
- කරපිංචා
- කුරුඳු පොතු
- උළුහාල් (10 - 12)
සාදන ආකාරය:
- අඹ ඇටය සමඟ කැබලිවලට කපා ගන්න.
- කපාගත් අඹ කෑලි සියල්ල හොඳින් සෝදන්න.
- තුනපහ , මිරිස් කුඩු , ලුණු , කහ සමග වතුර ස්වල්පයක්ද ගෙන අඹ සමග මිශ්‍ර කරන්න .
- කරදමුංගු සහ කරාබුනැටි තලාගන්න.
- ඉගුරු සහ සුදු ළූණු ද තලාගන්න.
- පිස ගැනීම සඳහා යොදා ගන්නා භාජනයට තෙල් ස්වල්පයක් දමා තෙල් රත්වන විට කරදමුංගු, කරාබුනැටි, ඉඟුරු, සුදු ලූනු එකතු කරන්න.
- මෙයට රම්පෙ, කරපිංචා ද එකතු කරන්න.
- කුරුඳු පොතු, උළු හාල්, මිරිස් සහ සේර එකතු කරන්න.
- සියල්ල හොඳින් මිශ්‍ර කර ගනිමින් එයට ලුණු එකතු කරන්න.
- මිනිත්තු 01 පමණ තබා එයට අඹ එකතු කරන්න.
- භාජනය වසා මිනිත්තු 15 - 20 මදගින්නේ පිසගන්න. වරින් වර හැඳි ගාන්නට අමතක කරන්න එපා.
- අඹ හොඳින් තැම්බුණු පසු සීනි එකතු කරන්න.
- විනාකිරි එකතු කරන්න.
- තවත් මිනිත්තු 02 - 03 පිසගන්න.
- දැන් ඔබට රසට හදපු අඹ මාලුව පිළිගන්වන්න පුළුවන්.