ඉතුරු බත් වලින් ලේසියෙන් දොදොල්

මීට පස්සේ ඔයාලට ඉතුරු බත් විසි කරන්න ඕනේ වෙන්නේ නෑ. ගෙදර උයලා ඉතුරු වෙන බත් ටිකෙන් ඔයාලට පුළුවන් රසම රස දොදොල් ටිකක් හදා ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • උයපු බත් - 350g
  • උකු පොල් කිරි - 1250ml
  • හකුරු - 500g
  • කරදමුංගු - 7-8
  • කජු - 100g
  • ලුනු - තේ හැඳි 01
  • සීනි - 50g
  • පොල් තෙල් (අවශ්‍ය නම්)
  • සාදන ක්‍රමය:

  • මුලින්ම බත් ටිකට පොල් කිරි වලින් ටිකක් දාලා හොඳට බ්ලෙන්ඩර් කර ගන්න. මේ බත් ටික කැටි හිටින්නේ නැති වෙන්න හොඳට පේස්ට් එකක් වගේ වෙනකන්ම බ්ලෙන්ඩර් කරන්න.
  • ඊළගට ග්‍රේට් කර ගත්ත හකුරු ටිකට පොල් කිරි වලින් ටිකකුයි සීනි ටිකයි දාලා කලවම් කර ගන්න. මේ හකුරු ටිකයි සීනි ටිකයි පොල් කිරිත් එක්ක දිය වෙනකම් මද ගින්දරේ රත් කරන්න.
  • හකුරු ටික හොඳට දිය උනාට පස්සේ තලා ගත්ත කරදමුංගු ටිකයි ලුනු ටිකයි දා ගන්න.
  • දැන් බ්ලෙන්ඩර් කර ගත්ත බත් ටිකයි ඉතුරු පොල් කිරි ටිකයිත් දා ගන්න.
  • බත් පේස්ට් එක හොඳට කැටි නැති වෙනකන් කලවම් කරලා මිශ්‍රණය දොදොල් පදමට එනකන් දිගටම හැඳි ගාන්න.
  • දොදොල් මිශ්‍රණය ටිකක් වේලිලා වගේ ආවොත් එහෙම පොල් තෙල් ටිකක් සැරින් සැරේ දදා හැදී ගාන්න. ඔයාලගේ දොදොල් මිශ්‍රනයෙන්ම තෙල් උනලා ආවොත් එහෙම වෙනමම තෙල් දාන්න ඕනේ නෑ.
  • දොදොල් මිශ්‍රණය ටිකක් ඝනකම් උනහම කජු ටික දාලා කලවම් කරන්න.
  • දොදොල් එක ගුලියක් වගේ වෙලා භාජනයේ ඇලෙන්නේ නැති මට්ටමට ආවහම මේක ලිපෙන් අර ගන්න.
  • මේ මිශ්‍රණය පොල් තෙල් ගාපු තැටියකට දාලා හොඳටම නිමෙන්න තියන්න. දොදොල් එක නිමෙනකොට මේක තව ටිකක් හයිය වෙලා හොඳට සෙට් වෙනවා.
  • දැන් මේ දොදොල් එක හෙමින් සැරේ තැටියෙන් අයින් කර ගෙන කෑලි වලට කපලා රස බලන්න.
  • Leftover Rice Dodol
    Leftover Rice Dodol
    Leftover Rice Dodol
    Leftover Rice Dodol

    Contact DailyLife.lk

    or drop an E-Mail to