කවුරුත් හදන්න දන්නා ලැවරියා

ලැවරියා කියන්නේ ඕනේ කෙනෙක් වගේ හදා ගන්න දන්නා අපේ රටේ කෑමක්. ඉදි අප්පයි පැණි පොලුයි හදා ගන්න දන්නා අයටනම් ලේසියෙන්ම ලැවරියා හදා ගන්න පුළුවන්. හවස තේ වෙලාවට වගේ ගෙදර කන්න මුකුත් නැත්නම් ඉක්මනින්ම ඔයාලට පුළුවන් මේ විදිහට ලැවරියා ටිකක් හදා ගන්න. මේ පහළ සඳහන් කරලා තියන ප්‍රමාණ වලින් ලැවරියා 10ක් හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය: පැණි පොල් සදහා

  • ගා ගත්ත පොල් - 125g
  • සීනි - 125g
  • කුඩු කරගත් කරදමුංගු - තේ හැඳි 1/4
  • සීනි - තේ හැඳි 1/2
  • උණු වතුර - කෝප්ප ½

අවශ්‍ය ද්‍රව්‍ය: පිටි මිශ්‍රණය සදහා

  • සුදු ඉදි ආප්ප පිටි - 350g
  • ලුනු පොඩ්ඩක්
  • තට්ටු වල ගාගන්න තෙල්
  • වතුර

සාදන ක්‍රමය:

  • ලැවරියා මැදට දාන පැණි පොල් එක හදා ගන්න, තාච්චියක් ලිපේ තියලා ඒකට සීනි වලින් පොඩ්ඩක් දා ගන්න. දැන් මේ සීනි ටික මද ගින්දරේ හොඳට උණු කරන්න. සීනි ටික හොඳට උණු උනහම තද පාට වෙලා එනවා. සීනි ටික මීට වඩා උණු කරන්න එපා. එතකොට පැණි පොල් එක තිත්ත රස වෙනවා. සීනි ටික හොඳට උණු වෙලා තද පාට උනහම මේකට උණු වතුර ටික දා ගන්න. උණු වතුර දාද්දි ඔයාලා ටිකක් ඈත් වෙලා දාන්න. මොකද රත් උන පැණි එක පාරට ඇගට විසි වෙන්න පුළුවන්.
  • දැන් මේකට ඉතුරු සීනි ටිකත් දා ගන්න. සීනි ටික ඔක්කොම හොඳට දිය උනහම කොටා ගත්ත කරදමුංගු ටිකයි ලුනු ටිකයි දා ගන්න.
  • පැණි ටික හොඳට උණු වෙලා බුබුළු දාන මට්ටමට ආවහම මේකට පොල් ටික දා ගන්න. වැඩිපුර වතුර ගතිය හිදෙනකන් පැණි පොල් එක ලිපේ තියලා ඊලගට මේක ලිපෙන් බා ගන්න.
  • ලැවරියා හදන්න ඕනේ ඉදි ආප්ප පිටි මිශ්‍රණය හදා ගන්න, පිටි වලට ලුනු ටිකක් දාලා කලවම් කරන්න. ඊළගට මේකට වතුර ටික ටික දදා පදම එනකන් කලවම් කරන්න. පිටි ටික හොඳට සොෆ්ට් වෙලා අතේ ඇලෙන්නේ නැති මට්ටමට ආවහම ඒක තමයි පදම.
  • ඊළගට ලැවරියා ටික තට්ටු වලින් ගලවා ගන්න ලේසි වෙන්න ලැවරියා තට්ටු වල තෙල් ටිකකුත් ගා ගන්න.
  • දැන් ලොකු ඉදි ආප්පයක් හදා ගෙන ඒක මැද්දෙන් පැණි පොල් ටිකක් තියා ගන්න. ඊළගට මේ ලැවරියා එක කොන් දෙක එකට හිටින්න නමා ගන්න. මේක ලැවරියා එක නමන එක ක්‍රමයක්. මේ විදිහට ලැවරියා එක නමපුවහම ලැවරියා එක ටිකක් ආස්මි හැඩේකට එනවා. දැන් මේ ලැවරියා එක පරිස්සමට තට්ටුව උඩින් තියා ගන්න. ලැවරියා එක අතට ගනිද්දී වැඩිය තද කරන්නේ නැතුව හෙමින් සැරේ අල්ලන්න.
  • ලැවරියා එක නමන අනිත් ක්‍රමයේදී ලැවරියා එක කෙසෙල් කොලේ උඩ තියෙද්දීම පැණි පොල් මැදට හිටින්න රෝල් කරන්න. මේකෙදි ලැවරියා එක අතට ගන්නේ නැතුව කෙලින්ම තට්ටුවට දා ගන්න පුළුවන්. මේ විදිහට නමපුවහම ලැවරියා එක රෝල් හැඩේකට තමයි එන්නේ.
  • දැන් මේ හදා ගත්ත ලැවරියා ටික ස්ටීමර් එකක තියලා ටිකක් වෙලා තම්බා ගන්න. තැම්බුනාට පස්සේ ලැවරියා එක ඇගිල්ලෙන් පොඩ්ඩක් තද කරලා බලන්න. ඔයාලාගේ ඇගිල්ලේ පිටි ඇලෙන්නේ නැත්නම් ඒක තැම්බිලා ඇති. මේ ලැවරියා ගොඩක් වෙලා තම්බන්න ඕනේ නෑ. විනාඩි 3-4 යනකොට ලැවරියා ටික හොඳට තැම්බෙනවා.
  • හවස තේ වෙලාවට වගේ ගෙදර කන්න දෙයක් නැත්නම් ඔයාලට ලේසියෙන්ම මේ වගේ ලැවරියා ටිකක් හදා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ මේ ලැවරියා උදේකට රෑකට වගෙත් කන්න පුළුවන් රස කෑමක්.
Making Lavariya
Lavariya on Lavariya Matas
Sri Lankan Lavariya
Sri Lankan Lavariya
Sri Lankan Lavariya
Sri Lankan Lavariya
Close up view of Lavariya
Sri Lankan Lavariya

Contact DailyLife.lk

or drop an E-Mail to