තරහා නොගෙන කොහිල කැඳක් බොමු

කොහිල කියන්නේ අපේ රටේ තියන ඉතාමත් වටිනා ශාකයක්. අර්ශස් අමාරු තියන අයට නම් කොහිල කියන්නේ දිව්‍ය ඖෂධයක් වගේ. කොහිල අල වලින් එක එක ජාතියේ කෑම හදන්න පුළුවන්. ඒ අතරින් කොහිල කැඳ කියන්නේ රස වගේම ශරීරය ඉතාමත් ගුණ දායක දෙයක්. කොහිල කැඳ හදා ගන්න එක හරිම ලේසියි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කැකුළු හාල් - 75g
  • සුදු ළුණු බික් - 03-04
  • කොහිල අල - 350g
  • ගා ගත්ත පොල් - 120g
  • ලුනු - තේ හැඳි 01

සාදන ක්‍රමය:

  • මුලින්ම කැකුළු හාල් ටික පැය 04ක් 05ක් විතර වතුරේ දාලා පොගවා ගන්න. ඔයාලා මේ කැඳ එක හදන්නේ උදේකට නම් කලින් දවසේ රෑ මේ හාල් ටික පොගන්න දාන්න. පහුවදා උදේට හාල් ටික සෝදලා අරගෙන බ්ලෙන්ඩර් කර ගන්න. කැඳ එක හදන භාජනේට මේ හාල් ටික දා ගන්න. මේ විදිහට හාල් ටික බ්ලෙන්ඩර් කරලා දා ගත්තහම කැඳ හදන්න කලින් වෙනමම හාල් උයන්න ඕනේ නෑ. කැඳ එක උයන කොටම හාල් ටිකත් ඉක්මනට ඉදෙනවා.
  • ඊළගට කොහිල අල ටික සුද්ද කරලා සෝදලා අරගෙන තරමක පොඩි කෑලි වලට කපා ගන්න.
  • දැන් මේ කපා ගත්ත කොහිල ටිකයි, පොල් ටිකයි, වතුරයි එකට දාලා හොඳට බ්ලෙන්ඩර් කර ගන්න.
  • බ්ලෙන්ඩර් කර ගත්ත කොහිල ටික හොඳට අතින් මිරිකලා කොහිල ඉස්ම ටික කැඳ හදන භාජනේට දා ගන්න. තව පාරක් මේ විදිහටම මේ ටික බ්ලෙන්ඩර් කරලා තවත් ඉස්ම ටිකක් අර ගන්න.
  • දැන් මේකට ලුනුයි, පොඩි කර ගත්ත සුදු ළුණු ටිකයි දා ගන්න.
  • කැඳ එක දිගටම හැඳි ගැන ගමන් විනාඩි 07ක් 08ක් විතර උයා ගන්න.
  • කැඳ එක හරි ගියාට පස්සේ ඔයාලගේ රස පදමට ලුනු ඇතිද කියලා බලලා ලිපෙන් බා ගන්න.
  • හකුරු කෑල්ලක් එක්ක ටිකක් රස්නේ පිටින්ම මේ කැඳ එක රස බලන්න.
Kohila Kanda (Lasia Conjee)
Kohila Kanda (Lasia Conjee)

Contact DailyLife.lk

or drop an E-Mail to