කල් තියාගෙන කන්න කෙසෙල් මුව බැදුම

කෙසෙල් මුව කියන්නේ අපි ඕනේ කෙනෙක් දන්නා හරිම ගුණ දායක කෑමක්. කෙසෙල් මුව එක එක විදිහට රසට හදා ගන්න පුළුවන්. කෙසෙල් මුව බැදුම කියන්නේ ඔයාලාට සති තුන හතරක් උනත් කල් තියාගෙන කන්න පුළුවන් රස කෑමක්. ඔයාලා කාර්ය බහුල කෙනෙක් නම් මේ වගේ කෙසෙල් මුව බැදුමක් හදලා තියා ගත්තොත් හරිම පහසුවක් වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කෙසෙල් මුව - 01
  • කෑලි මිරිස් - මේස හැඳි 03
  • කරපිංචා
  • හීනියට කපා ගත්ත ලොකු ළුණු - 02
  • වියළි මිරිස් - කරල් 04
  • සුද්ද කර ගත් හාල් මැස්සන් - 90g
  • ලුනු
  • සීනි
  • බැදීමට තෙල්

සාදන ක්‍රමය:

  • මුලින්ම කෙසෙල් මුවේ කපලා දා ගන්න වතුර එකට ලුනු ටිකක් දාලා කලවම් කර ගන්න. දැන් කෙසෙල් මුවේ සෝදලා අරගෙන හීනියට කපා ගන්න.
  • කපා ගන්න කෙසෙල් මුව ටික ඉක්මනටම හදා ගත්ත ලුනු වතුර එකට දාගන්න. කපලා ඉවර වෙලා මේ කෙසෙල් මුව ටික ගොඩක් වෙලා එලියේ තිබ්බොත් එහෙම කහට පිපෙනවා.
  • කෙසෙල් මුව ඔක්කොම කපලා ඉවර උනාට පස්සේ මේ ටික ලුනු වතුරෙන් හොඳට සෝදලා වැඩිපුර වතුර ටික මිරිකලා අරගන්න. දැන් මේ ටික වෙනමම භාජනයකට දාලා ලුනු කුඩු ටිකක් එක්ක කලවම් කර ගන්න.
  • තාච්චියකට තෙල් ටිකක් දාලා මේ තෙල් ටික හොඳටම රත් උනහම කෙසෙල් මුව ටික ටික දදා මද ගින්දරේ මේ ටික රන්වන් පාට වෙනකන් බැද ගන්න. ඔක්කොම කෙසෙල් මුව ටික බැදගත්තාට පස්සේ මේ ටිකේ වැඩිපුර තෙල් ටික බේරෙන්න ටිෂු එකක් උඩට දා ගන්න.
  • කෙසෙල් මුව ටික බැදගත්ත විදිහටම කපා ගත්ත ළුණු ටිකත් බැද ගන්න.
  • ඊළගට කරපිංචා ටික බැද ගන්න. කරපිංචා ගොඩක් වෙලා බදින්න එපා. තත්පර 10ක් විතර කරපිංචා බැදුනහම හොඳටම ඇති. ගොඩක් වෙලා බැදුනොත් කරපිංචා වල තියන ලස්සන කොළ පාට ගතිය නැති වෙලා යනවා.
  • වියළි මිරිස් ටිකත් තරමක කෑලි වලට කපලා බැද ගන්න.
  • ඊලගට හොඳට සුද්ද කරලා සෝදලා අර ගත්ත හාල් මැස්සන් ටික බැද ගන්න. මේකට හාල් මැස්සන් වෙනුවට උම්බලකඩ අර ගන්නත් පුළුවන්.
  • දැන් වෙනමම ටිකක් ලොකු භාජනයකට තෙල් ටිකක් දාලා තෙල් රත් වෙනකොට කෑලි මිරිස් ටික දා ගන්න. කෑලි මිරිස් ටික දා ගත්තාට පස්සේ ලිපේ ගින්දර හොඳටම අඩු කරන්න.
  • දැන් මේකට ලුනුයි, සීනියි, බැද ගත්ත හාල්මැස්සෝ ටිකයි එකතු කරන්න. මේ ටික කෑලි මිරිසුත් එක්ක හොඳට කලවම් කරලා ලිප ඔෆ් කර ගන්න.
  • අන්තිමට බැද ගත්ත කෙසෙල් මුව ටිකයි, ළුණුයි, කරපින්චයි, වියළි මිරිස් ටිකයි එකතු කරලා හොඳට කලවම් කරන්න.
  • මේ ඔක්කොම ටික හොඳට කලවම් උනාට පස්සේ ඔයාලගේ රස පදමට ලුනුයි සීනියි තියනවාද කියලා බලන්න. මදි නම් තව ටිකක් දා ගන්න.
  • කෙසෙල් මුව බැදුම හොඳටම නිමුනාට පස්සේ හොඳට සෝදලා වේලලා අර ගත්ත වීදුරු බෝතලේකට අසුරා ගන්න. මේ බැදුම කල් තියා ගන්න හදන නිසා බෝතලේ පොඩ්ඩක්වත් වතුර ගතිය තියෙන්න බෑ. මේ විදිහට හොඳට සුළං වදින්නේ නැති වෙන්න අසුරා ගත්තහම මේ බැදුම සති 03ක් 04ක් උනත් මුකුත් වෙන්නේ නැතුව තියා ගන්න පුළුවන්.
Kesel Muwa Baduma
Kesel Muwa Baduma
Kesel Muwa Baduma
Kesel Muwa Baduma

Contact DailyLife.lk

or drop an E-Mail to