කටට සැරට ගෙදරදීම මාළු රෝල්ස්

කහට කෝප්පයක් එක්ක කටට සැරට හදා ගත්ත උණු උණු රෝල් එකක් කියන්නේ ලංකාවේ අයට නම් දිව්‍ය ආහරයක් වගේ. රසම රස මාළුවක් මැද්දට දාගත්ත මේ මාළු රෝල් එක දැක්කහම ඔයාලගේ කටට කෙල උනනවා නොඅනුමානයි.

අවශ්‍ය ද්‍රව්‍ය: පිරවුම සදහා

  • ටින් මාළු - 150g
  • තම්බාගත් අර්තාපල් - 100g
  • ලොකු ළුණු - 01
  • සුදු ළුණු - බික් 03
  • තක්කාලි - 01
  • අමු මිරිස් - 02
  • කරපිංචා
  • කුඩු කර ගත්ත කරදමුංගු, කරාබු නැටි, කුරුදු පොතු - තේ හැඳි 3/4
  • ලීක්ස් - 100g
  • ග්‍රේට් කර ගත්ත පොඩි කැරට් - 01
  • ගෝවා කොළ - 03
  • ලුනු - තේ හැඳි 01
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 01
  • කෑලි මිරිස් - තේ හැඳි 01
  • පොඩි කර ගත් ඉඟුරු කෑල්ලක්
  • කහ කුඩු - තේ හැඳි ¼

අවශ්‍ය ද්‍රව්‍ය: පෑන් කේක් එක සදහා

  • පාන් පිටි - 350g
  • ලුනු - තේ හැඳි 01
  • බිත්තර - 01
  • වතුර

අවශ්‍ය ද්‍රව්‍ය: වටේ ඇතිරීමට

  • පාන් කුඩු - 200g
  • බිත්තර - 02

සාදන ක්‍රමය:

  • රෝල් එක මැදට දාන පිරිවුම සාදා ගැනීමට, පෑන් එකකට තෙල් ටිකක් දාලා තෙල් රත් වෙනකොට තලා ගත්ත ඉඟුරු ටිකයි කුඩු කර ගත්ත කරදමුංගු, කරාබු නැටි, කුරුදු ටිකයි දා ගන්න. ඊළගට සුදු ලුණුයි, අමු මිරිසුයි, කරපින්චායි දාන්න. කපා ගත්ත තක්කාලි සහ ළුණු දාන්න. කහ, ගම්මිරිස්, ලුනු, කෑලි මිරිස් දාන්න.
  • දැන් මේකට හීනියට කපා ගත්ත ගෝවා යි, ලීක්ස් යි, කැරට් ටිකයි දා ගන්න.
  • පොඩි කර ගත්ත ටින් මාළු ටික දා ගන්න. ටින් මාළු ටික දා ගත්තාට පස්සේ ඔයාලගේ රස පදමට ලුනුයි ගම්මිරිස් කුඩුයි ඇතිද කියලා බලන්න.
  • අන්තිමට තම්බා ගත්ත අල ටික දාලා හොඳට කලවම් කරන්න.
  • රෝල් එක වටේට ඔතන පෑන් කේක් එක හදා ගන්න, පිටි වලට ලුනුයි බිත්තරේකුයි දාලා හොඳට කලවම් කරන්න. බැරි වෙලාවත් ඔයාලගේ පිරවුමට ලුනු වැඩි උනොත් එහෙම මේකට ලුනු දාන්න එපා.
  • ඊළගට මේකට වතුර ටික ටික දදා ටිකක් ඝනකම් බැටර් එකක් හදා ගන්න. මේ මිශ්‍රණය ගොඩක් ඝනකම් කර ගන්න එපා. ඒ වගේම මේක ගොඩක් වතුර ගතියට ගන්නත් එපා.
  • මිශ්‍රණය හදා ගත්තාට පස්සේ ඒ ටික පෙනේරෙකින් පෙරා ගන්න. එතකොට දිය උනේ නැති පිටි කෑලි අයින් කර ගන්න පුළුවන්.
  • දැන් මේ මිශ්‍රණයෙන් ටික ටික දදා පෑන් කේක් ටික හදා ගන්න. පෑන් කේක් හදලා ඉවර වෙනකොට මේ මිශ්‍රණයෙන් මේස හැන්දක විතර ප්‍රමාණයක් ඉතුරු කර ගන්න. රෝල්ස් හදද්දී අපිට මේ ටික ඕනේ වෙනවා.
  • රෝල්ස් ටික හදා ගන්න, මුලින්ම පෑන් කේක් එකක් අරගෙන පැතලි මතුපිටක තියා ගන්න. පෑන් කේක් එක මැදින් පිරවුමෙන් ටිකක් තියා ගන්න. මුලින්ම පෑන් කේක් එකේ යට කොනින් පිරවුම වැහෙන විදිහට නමන්න. දැන් දෙපැත්තෙන් නමන්න. දැන් මේක රෝල් එකේ හැඩේට රෝල් කරන්න. රෝල් එකේ අන්තිම තැන නිකන්ම තිබ්බහම දිග ඇරෙන හින්දා ඉතුරු කර ගත්ත පෑන් කේක් මිශ්‍රණයෙන් ටිකක් දාලා හොඳට සීල් කර ගන්න.
  • ඔක්කොම රෝල්ස් ටික හදලා ඉවර උනාට පස්සේ බිත්තර දෙකක් කඩලා වෙනමම බෝල් එකකට දා ගන්න. මේ ටික හැන්දකින් ටිකක් බීට් කර ගන්න.
  • දැන් රෝල්ස් එකින් එක අරගෙන මේ බිත්තර වල තවරලා ඊට පස්සේ පාන් කුඩු වල තවරා ගන්න. මේ විදිහට එක පාරක් පාන් කුඩු වල තවරා ගත්තාට පස්සේ ඔයාලා කැමති නම් මේ රෝල්ස් ටික ආයෙත් පාරක් පාන් කුඩු වල තවරා ගන්න පුළුවන්.
  • මේ රෝල්ස් ටික බැද ගන්න තාච්චියකට තෙල් ටිකක් දාලා රත් කර ගන්න. තෙල් ටික හොඳට රත් වෙනකොට රෝල්ස් ටිකෙන් ටික මේ තෙල් එකට දාලා රන්වන් පාට වෙනකන් බැද ගන්න. බැද ගත්ත රෝල්ස් ටික තෙල් ටික හිදෙන්න තියලා තියන්න.
  • රස්නේ පිටින්ම මේ රෝල්ස් ටික පිළිගන්වන්න.
Filling of the Fish Rolls
Fish Rolls while frying
Sri Lankan Fish Rolls
Fish Rolls after cutting
Sri Lankan Fish Rolls
Closeup view of Fish Rolls
Sri Lankan Fish Rolls
Sri Lankan Fish Rolls

Contact DailyLife.lk

or drop an E-Mail to