රසම රස මාළු පැටිස් ඉක්මනින් හදමු
හවස තේ වෙලාවට ගෙදරදීම හදපු උණු උණු පැටිස් එකක් කන්න තියනවනම් කොහොමද. ඔන්න එහෙනම් අද තියනවා මාළු පැටිස්
අවශ්‍ය ද්‍රව්‍ය : පිරවුම සදහා
- පොඩි කරගත්ත ටින් මාළු - ටින් 01
 - තම්බා පොඩි කරගත්ත අල - ගෙඩි 01
 - ලොකු ළුණු - 01
 - කෑලි මිරිස් - තේ හැඳි 1/2
 - ගම්මිරිස් කුඩු - තේ හැඳි 01
 - අමු මිරිස් - 02
 - ලුනු - තේ හැඳි 1/2
 - කරදමුංගු - 03
 - කරාබු නැටි - 02
 - කුරුදු පොතු කීපයක්
 - කරපිංචා
 - පොල් තෙල් (පිරවුමට (මේස හැඳි 02) සහ පැටිස් බැදීමට)
 
අවශ්‍ය ද්‍රව්‍ය : පිටි මෝලිය සදහා
- පාන් පිටි - 250g
 - මාගරින් - 100g
 - ලුනු - තේ හැඳි 1/2
 - කූල් වතුර - මේස හැඳි 6-7
 - බිත්තර කහ මද - 01
 
සාදන ක්‍රමය:
- පිටි මෝලිය හදා ගන්න පිටියි ලුනුයි බෝල් එකකට දාලා කලවම් කරන්න.
 - මේකට මාගරින් හා බිත්තර කහ මදය එකතු කරන්න. මේ පිටි ටික පාන් කුඩු වගේ වෙනකන් ඇගිලි තුඩු වලින් මාගරින් හා බිත්තර කහ මදය එක්ක හොඳින් මිශ්‍ර කරන්න.
 - පිටි ටික පාන් කුඩු වගේ උනහම වතුර ටික ටික දදා කලවම් කරන්න. මේ පිටි මෝලිය සිනිදුවට බෝල් එක වටේ ඇලෙන්නේ නැති මට්ටමට එනකන් එනකන් නීඩ් කර ගන්න.
 - දැන් මේ පිටි මෝලිය කවර් කරලා විනාඩි 30ක් විතර ශීතකරණයේ තියන්න.
 - මේ අතරතුරේදී අපි පැටිස් එකේ පිරවුම හදා ගම්මු.
 - ඒකට තෙල් ටිකක් රත් කරලා හීනියට කපා ගත්ත ළුණු, අමු මිරිස් හා කරපිංචා එකතු කරන්න.
 - රස අනුව ලුනු ටිකකුත් එකතු කරන්න.
 - ඊළගට කෑලි මිරිස් ටික දාගන්න.
 - කරදමුංගු, කරාබු නැටි හා කුරුදු පොතු ටික හොඳට කුඩු කරගෙන මේකට දා ගන්න.
 - මේ ඔක්කොම ටික හොඳට කලවම් කරලා මේක ලිපෙන් අයින් කර ගන්න.
 - දැන් පොඩි කර ගත්ත ටින් මාළු ටික දාගන්න.
 - මාළු ටික හොඳට කලවම් කරලා ගම්මිරිස් ටික දාන්න. මේ වෙලාවේදී ඔයාලාගේ රසට ලුනු පදමට තියනවාද කියලත් බලන්න.
 - අන්තිමට පොඩි කරගත්ත අල ටික දාලා හොඳට කලවම් කර ගන්න.
 - දැන් අපි පැටිස් හදන්න පටන් ගම්මු.
 - පිටි මෝලිය අරගෙන ඒක දෙකට කපලා එක කොටසක් ආයෙත් ෆ්‍රිජ් එකට දාන්න. නැත්නම් මෝලිය ගොඩක් වෙලා එළියේ තියනකොට රස්නෙට මාගරින් දිය වෙලා පිටි මෝලිය ටිකක් ඇදෙන්න බලනවා.
 - දැන් මේ පිටි මෝලිය රෝලර් එකකින් හොඳට ෆ්ලැට් කර ගෙන, කුකී කටර් එකකින් රවුම් කපා ගන්න.
 - කපා ගත්ත රවුමකට මැද්දෙන් හදාගත්ත පිරවුම ටිකක් තියලා රවුමේ එක දාරයක් අනෙක් දාරේ උඩට තියලා පැටිස් එක නමන්න.
 - දැන් ඔයාලාගේ ඇගිලි තුඩු වලින් හෙමින් සැරේ දාරය සීල් කර ගන්න.
 - ඊළගට ගෑරුප්පුවක් ආධාරයෙන් දාරය තව ටිකක් ලස්සනට සීල් කර ගන්න.
 - ඔයාලාගේ පිටි මෝලිය ඉවර වෙනකන් මේ විදිහට පැටිස් හදා ගන්න.
 - ඊළගට අපි මේ පැටිස් ටික බැද ගන්න ඕනේ. ඒකට තෙල් ටිකක් හොඳට රත් කරලා හදා ගත්ත පැටිස් පරිස්සමට මේ තෙල් එකට දා ගන්න.
 - පැටිස් එකේ දෙපැත්තම රන්වන් පාට වෙනකන් මේ පැටිස් ටික බැදගන්න.
 - මේ පැටිස් එක උණු උනුවෙන්ම කනකොට තමයි වැඩියෙන්ම රස.