මාළු බනිස් රසට හදමු

කඩෙන් මාළු බනිස් ගත්තොත් එහෙම අපිට වෙන්නේ මාළු පොඩ්ඩක් එක්ක නිකන් බනිස් ගෙඩියක් කන්න. ඉතින් එහෙම වෙන්නේ නැති වෙන්න අපි ගෙදරදීම මාළු බනිස් ටිකක් හදා ගම්මු. මේ පහල දාලා තියන ප්‍රමාණ වලින් අපිට සාමාන්‍ය තරමේ මාළු බනිස් 10ක් හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය: පිටි මිශ්‍රණය සදහා

  • පාන් පිටි - 450g
  • සීනි - තේ හැඳි 02
  • දිය කර ගත්ත මාගරින් හෝ බටර් - මේස හැඳි 02
  • වියළි යීස්ට් - තේ හැඳි 02
  • ලුනු - තේ හැඳි 1 1/2
  • නීඩ් කිරීමට පිටි - 30g
  • පිටි කිරි - මේස හැඳි 02
  • බීට් කර ගත්ත බිත්තර - 02
  • මද රස්නේ වතුර - මේස හැඳි 03
  • කූල් වතුර - කෝප්ප ½
  • අවශ්‍ය ද්‍රව්‍ය : පිරවුම සඳහා

  • සැමන් හෝ මාළු - 150g
  • පොඩි අල ගෙඩි - 02
  • ලොකු ළුණු - 01
  • තලා ගත්ත සුදු ළුණු - බික් 04
  • තලාගත්ත ඉඟුරු - අගල් 1 කෑල්ලක්
  • කරපිංචා
  • කුරුදු
  • ලුනු - තේ හැඳි 01
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 01
  • කෑලි මිරිස් - තේ හැඳි 02
  • අමු මිරිස් - 01
  • පොඩි තක්කාලි - 01
  • කරාබු නැටි - 02
  • සාදන ක්‍රමය:

    • මුලින්ම යීට්ස් ටිකට සීනි ටිකක් දාලා කලවම් කර ගන්න. දැන් මේ යීස්ට් ටික මද රස්නේ උනු වතුර ටිකත් එක්ක කලවම් කරලා යීස්ට් ටික පිපෙන්න විනාඩි 5-6 විතර තියලා තියන්න.
    • යීස්ට් ටික පිපුනාට පස්සේ මේ ටික පිටි එකට දා ගන්න. ඒත් එක්කම දිය කර ගත්ත බටර් ටිකයි, කිරි පිටි ටිකයි, ලුනු පොඩ්ඩකුයි, බීට් කර ගත්ත බිත්තර 1 1/2 යි පිටි වලට දාලා මේ ඔක්කොම ටික හොඳට කලවම් කරන්න. බිත්තර වලින් ටිකක් ඉතුරු කර ගන්න. අපිට මේ ටික පස්සේ ඕනේ වෙනවා.
    • දැන් මේ පිටි එකට කූල් වතුර ටික ටික දදා අතින් හොඳට අනා ගන්න. ඔයාලා කූල් වතුර ගනිද්දී ගොඩක්ම කූල් වතුර ගන්න එපා. ටිකක් කූල් ගතිය තිබුනහම ඇති.
    • දැන් මේ පිටි ටික සමතලා තැනකට දාගෙන විනාඩි 8-10 විතර හොඳට නීඩ් කර ගන්න. ඔයාලා මේ පිටි ටික හොඳට නීඩ් කලහම තමයි බනිස් එක හොඳට සොෆ්ට් වෙන්නේ. නීඩ් කරද්දී ඩෝ එක අතේ අලෙනවානම් එහෙම ඔයාලගේ අල්ලේ පිටි ටික ටික ගගා නීඩ් කරන්න. ඩෝ එකට වැඩිපුර පිටි දාන්න යන්න එපා.
    • පිටි ටික හොඳ ගානට නීඩ් කර ගත්තාට පස්සේ මේක හොඳට පිපෙනකන් තෙල් ගාගත්ත බෝල් එකකට දාලා විනාඩි 45ක් විතර තියලා තියමු.
    • ඩෝ එක හොඳට පිපුනාට පස්සේ මේක සමාන කොටස් 10ට කපා ගන්න. දැන් මේ කපා ගත්ත කොටස් වලින් බෝල හදා ගන්න ඕනේ. ඔයාලා බෝල හදද්දී වටේ කොන් ටික ඇතුලට නමලා බෝල ටික හදා ගන්න. ඒ වගේම තමයි මේ බෝල ටික ට්‍රේ එකෙන් තියා ගනිද්දී මේ කොන් තියන පැත්ත යටට හිටින්න තමයි තියා ගන්න ඕනේ.
    • ඔක්කොම බෝල ටික හදා ගත්තාට පස්සේ මේ ටික ආයෙත් පිපෙන්න තවත් පැය 1/2ක් විතර වහලා තියලා තියන්න. මේ විදිහට සැරින් සැරේ ඩෝ එක පිපෙනකොටත් බනිස් ටික හොඳට සොෆ්ට් වෙනවා.
    • ඩෝ එක ආයෙත් පිපෙනකන් අපිට පුළුවන් බනිස් මැද්දට දාන පිරවුම හදා ගන්න. ඔයාලට කැමති නම් මේක කලින් හදලා තියා ගන්නත් පුළුවන්. එකට මුලින්ම තලාගත්ත ඉඟුරු සුදු ළුණු ටිකයි කුරුදු පොතු ටිකයි රත් කර ගත්ත තෙල් එකට දාලා ටිකක් වෙලා බැද ගන්න. ඉඟුරු සුදු ලුණු බැදෙනකොට හීනියට කපා ගත්ත කරපිංචා ටික දාන්න.
    • ඊලගට කපා ගත්ත ළුණු, අමු මිරිස්, තක්කාලි දාන්න. මේ ටික විනාඩි 2ක් විතර තියලා ලුනුයි, ගම්මිරිස් කුඩුයි, කෑලි මිරිස් ටිකයි දාන්න.
    • මේ ඔක්කොම ටික හොඳට කලවම් කර ගත්තාට පස්සේ පොඩි කර ගත්ත සැමන් ටික දාන්න. සැමන් ටිකත් මිශ්‍රණය එක්ක හොඳට කලවම් කරලා තම්බලා පොඩි කර ගත්ත අල ටික දා ගන්න.
    • අපි පිරවුම හදලා ඉවර වෙනකොට අපි හදා ගත්ත බෝල ටිකත් හොඳට පිපිලා තියෙන්නේ. දැන් බනිස් ටික හදන්න පටන් ගන්න.
    • එක බෝලයක් අරගෙන ඒකෙ යට පැත්ත උඩට හිටින්න තියා ගන්න. දැන් මේක ඇගිලි තුඩු වලින් රවුමට පැතලි කරන්න. හදා ගත්ත පිරවුමෙන් ටිකක් මේක මැද්දෙන් තියලා ත්‍රිකෝණ හඩේකට එන්න මේක නමා ගන්න. මේකත් අපි බේකින් ට්‍රේ එකෙන් තියද්දි දාර තියන පැත්ත යටට හිටින්න තමයි තියන්න ඕනේ.
    • අනිත් දේ තමයි ඔයාලා මේ බනිස් ටික බේකින් ට්‍රේ එකෙන් තියද්දි අනිවාර්යෙන්ම බේකින් ට්‍රේ එකේ බටර් ටිකක් ගාලා තියන්න. එහෙමත් නැත්නම් බේකින් ට්‍රේ එකක් දාලා තියන්න. එහෙම නැතුව තිබ්බොත් එහෙම බේක් උනාට පස්සේ මේ බනිස් ටික ට්‍රේ එකෙන් ගලවා ගන්න අමාරු වෙයි.
    • ඔක්කොම බනිස් ටික හදාගත්තාට පස්සේ මේ බනිස් ටික ආයෙත් විනාඩි 30ක් විතර පිපෙන්න තියන්න. මේ කාලය ඇතුලතදී බනිස් ගෙඩිය හොඳට පිපිලා ලස්සන වෙලා එනවා.
    • මේ බනිස් ටික බේක් කරන්න කලින් අපි මේ ටික උඩ බිත්තර ගාගන්න ඕනේ. ඒකට අපි කලින් ඉතුරු කර ගත්ත බිත්තර ටික අර ගන්න. ඔක්කොම බනිස් ටික උඩ බිත්තර ගාගෙන ඉවර වෙලා මේ බනිස් ටික 200C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක විනාඩි 15ක් විතර බේක් කර ගන්න.
    • බනිස් ටික බේක් කරගෙන ඉවර වෙලා අවන් එකෙන් එලියට ගත්ත ගමන් රස්නේ තියෙද්දීම බනිස් ටික උඩින් දිය කර ගත්ත බටර් ටිකක් ගාගෙන මේ ටික වහලා විනාඩි 10ක් විතර තියලා තියන්න. එතකොට බනිස් ටික හොඳට සොෆ්ට් වෙලා ලස්සන පාට වෙලා එනවා.
    Sri Lankan Fish Buns
    Sri Lankan Fish Buns
    Closeup view of Sri Lankan Fish Buns
    Sri Lankan Fish Buns
    Sri Lankan Fish Buns
    Sri Lankan Fish Buns

    Contact DailyLife.lk

    or drop an E-Mail to