පොඩ්ඩෝ කැමති රස

පොඩි අය ගොඩක්ම කන්න කැමති කෑමක් තමයි චොක්ලට් ගොඩාක් මැදි වෙච්ච මේ චොක්ලට් චිප් හොට් ක්‍රොස් බන් එක. මේ බන් එක හදා ගන්න එච්චර අමාරු නෑ. හැබැයි රසම රස සොෆ්ට් බන් එකක් හදා ගන්න නම් අපිට ටිකක් වැඩි වෙලාවක් ඉවසාගෙන ඉන්න වෙනවා. මේ දාලා තියන ප්‍රමාණ වලින් අපිට බනිස් 12ක් හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය: පිටි මිශ්‍රණය සදහා

  • පාන් පිටි - 370g
  • ලුනු - තේ හැඳි 1/2
  • කුරුදු කුඩු - තේ හැඳි 1/2
  • සාදික්කා කුඩු - තේ හැඳි 1/2
  • ඉගුරු කුඩු - තේ හැඳි 1/4
  • සීනි - 110g
  • ක්ෂණික යීස්ට් - 10g
  • දිය කර ගත්ත බටර් - 45g
  • මද රස්නේ නැවුම් කිරි - 125ml
  • වැනිලා - තේ හැඳි 01
  • බිත්තර - 01
  • වියළි මිදී - 75g
  • චොක්ලට් චිප්ස් - 200g

අවශ්‍ය ද්‍රව්‍ය: කතිර සදහා

  • පාන් පිටි - 40g
  • වතුර - 6ml

අවශ්‍ය ද්‍රව්‍ය: මතුපිට තැවරුමට

  • මිශ්‍ර පලතුරු ජෑම් - මේස හැඳි 02

සාදන ක්‍රමය:

  • මුලින්ම සීනි තේ හැන්දක් යීස්ට් ටිකට දාලා කලවම් කර ගන්න. දැන් මේ යීස්ට් එකට කිරි මේස හැඳි 02ක් විතර දාලා කිරි ටිකත් එක්ක යීස්ට් ටික කලවම් කරන්න. ඊළගට යීස්ට් ටික පිපෙනකන් විනාඩි 6ක් 7ක් විතර පැත්තකින් තියලා තියන්න.
  • ඉඟුරු කුඩුයි, සාදික්කා කුඩුයි, කුරුදු කුඩුයි, ලුනුයි, සීනියි පිටි වලට දාලා කලවම් කර ගන්න.
  • දැන් මේකට යීස්ට් ටිකයි, ඉතුරු කිරි ටිකයි, බිත්තරෙයි, වැනිලායි, දිය කර ගත්ත බටර් ටිකයි දාලා හොඳට කලවම් කරන්න.
  • දැන් මේ පිටි ටික විනාඩි 8ක් 10ක් විතර හොඳට මෘදු වෙනකන් අතින් නීඩ් කර ගන්න. ඔයාලගේ පිටි එක අලෙනවානම් අතේ පිටි ටික ටික ගගා නීඩ් කරන්න. ඩෝ එකට වැඩිපුර පිටි එකතු කරන්න එපා.
  • ඩෝ එක හොඳට නීඩ් උනාට පස්සේ වටේ තෙල් ගාගත්ත බෝල් එකකට මේ ඩෝ එක දාලා කවර් කරලා විනාඩි 45ක් විතර පිපෙන්න තියන්න.
  • මේ අතරතුරේදී චොක්ලට් ටිකත් පොඩි කෑලි වලට කපා ගන්න.
  • ඊළගට කපා ගත්ත චොක්ලට් ටිකයි වියළි මිදී ටිකයි පිටි එකට දාලා හොඳට කලවම් කර ගන්න. ආයෙත් මේ ඩෝ එක කවර් කරලා විනාඩි 45ක් පිපෙන්න තියන්න.
  • දැන් මේ ඩෝ එක පැතලි මතුපිටකට දාගෙන සමාන කොටස් 12ට කපා ගන්න. කපා ගත්ත මේ කෑලි වලින් පොඩි බෝල හදලා බේකින් ට්‍රේ එකක් උඩින් තියා ගන්න. මේ බෝල ටික තියා ගන්න කලින් බේකින් ට්‍රේ එකේ බටර් ගාන්න. නැත්නම් බේකින් ශීට් එකක් දාන්න. එහෙම නැති උනොත් බෝල ටික පිපෙනකොට බේකින් ට්‍රේ එකේ ඇලිලා බනිස් ටික ට්‍රේ එකෙන් ගලවා ගන්න අමාරු වෙයි.
  • ආයෙත් මේ හදා ගත්ත බෝල ටික කවර් කරලා පැය 1/2ක් විනාඩි 45ක් විතර පිපෙන්න තියන්න.
  • මේ අතරතුරේදී කතිර ටික දා ගන්න පිටි මිශ්‍රණය හදා ගන්න. ඒකට පිටි ටිකට වතුර ටික ටික දදා ටිකක් උකු මිශ්‍රණයක් හදා ගන්න. දැන් හදාගත්ත බෝල ටික උඩින් මේ පිටි වලින් කතිර හැඩේට දා ගන්න.
  • ඊළගට මේ බනිස් ටික 200C කට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක විනාඩි 15ක් බේක් කර ගන්න. බේක් කරලා ඉවර උන ගමන් රස්නේ පිටින්ම මේ බනිස් ටික උඩින් ජෑම් ටික ගාගන්න. මේ විදිහට ජෑම් ගාගත්තහම බනිස් ටිකට අමුතු දිස්නෙකුයි රසකුයි එනවා.
  • ඔයාලගේ පොඩි අයට ඉස්කෝලේ ගෙනියන්න වගේ හදලා දෙන්න නම් මේක හොඳ කෑමක්.
Chocolate Chips Hot Cross Buns
Chocolate Chips Hot Cross Buns
Chocolate Chips Hot Cross Buns
Chocolate Chips Hot Cross Buns
Chocolate Chips Hot Cross Buns

Contact DailyLife.lk

or drop an E-Mail to