කිරි රස කජු මාළුව

කජු කියන්නේ හරිම පුදුම කෑමක්. මොන විදිහට කෑවත් කජු වල තියෙන්නේ පුදුම රසක්. අපේ ගමේ විදිහට කිරි රසට ක්‍රීම් ගතියට හදන මේ කජු මාළුව බත්, පාන්, ඉදි ආප්ප වගේම පිට්ටු එක්කත් හරිම රසයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කජු - 500g
  • තුන පහ කුඩු - තේ හැඳි 02
  • රම්පේ
  • කරපිංචා
  • උළු හාල් - තේ හැඳි 1/4
  • සුදු ළුණු බික් - 08-09
  • ලොකු ළුණු - 01
  • කහ කුඩු - තේ හැඳි 01
  • කුරුදු - අගලක කෑල්ලක්
  • අමු මිරිස් - 06
  • උකු පොල් කිරි කෝප්ප - 02
  • ලුනු - තේ හැඳි 02
  • අබ - තේ හැඳි 01
  • මාගරින් - තේ හැඳි 1/2

සාදන ක්‍රමය:

  • කජු ගෙඩි ටික කපා ගෙන කජු මද ටික අයින් කර ගන්න. ඔක්කොම කජු ටික කපා ගත්තාට පස්සේ කජු මද ටිකට ඇල් වතුර දාලා පැය 04ක් 05ක් විතර පෙගෙන්න තියන්න. කජු ටිකට මේ විදිහට ඇල් වතුර දාපුවහම හරිම ලේසියෙන් කජු මද වල පොතු ටික ගලවා ගන්න පුළුවන්. පැය 04ක් 05ක් විතර ගියාට පස්සේ පොතු ටික ගලවා ගන්න.
  • පොතු ටික ගලවා ගත්ත කජු මද ටික ආයෙත් පාරක් සෝදලා අරගෙන කජු මාළුව උයන භාජනයට දා ගන්න. දැන් මේකට තුනපහ කුඩු, උළු හාල්, කහ කුඩු, ලුනු දාන්න. ඊළගට කුරුදු, රම්පේ, කරපිංචා, කපා ගත්ත ළුණු දාන්න.
  • දැන් මේ කජු ටික වැහෙන මට්ටමට එනකන් වතුර දාලා මේ ඔක්කොම ටික හොඳට කලවම් කරන්න. ඇතිලිය ලිපේ තියලා කජු ටික හොඳට තම්බෙනකන් උයා ගන්න.
  • කජු ටික හොඳට තැම්බුනහම තලා ගත්ත සුදු ළුණුයි අඹරා ගත්ත අබ ටිකයි දා ගන්න. අබ අඹරා ගනිද්දී ඒකට මාගරින් ටිකත් එකතු කරන්න.
  • ඊළගට පොල් කිරියි, අමු මිරිසුයි දා ගන්න. කජු මාළුව හොඳ කිරි රසට තියෙන්න ඕනේ හින්දා අපි මේකට මිරිස් කුඩු දාන්නේ නෑ. ඒ වෙනුවට අමු මිරිස් කරල් ටිකක් තමයි දා ගන්නේ.
  • සැරින් සැරේ හැඳි ගාන ගමන් පොල් කිරි ටික හොඳට ඉදෙනකන් තව ටිකක් වෙලා කජු මාළුව උයා ගන්න. ඔයාලා මේක හැඳි ගාද්දී පරිස්සමට හැඳි ගාන්න. නැත්නම් එහෙම කජු කෑලි ටික පොඩි වෙලා යයි.
  • කජු මාළුව හොඳට ඉදුනාට පස්සේ මේක ලිපෙන් බා ගන්න.
Sri Lankan Cashew Curry
Sri Lankan Cashew Curry
Sri Lankan Cashew Curry
Sri Lankan Cashew Curry
Sri Lankan Cashew Curry width=

Contact DailyLife.lk

or drop an E-Mail to