තිත්ත වෙන්නේ නැතුව කැරමල් පුඩිං හදමු

කැරමල් පුඩින් කියන්නේ කවුරුත් කන්න කැමැති ඉතාමත් රසවත් අතුරුපසක්. නිසියාකාර කැරමල් පුඩින් එකක් සාදා ගැනීම සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • උකු කිරි 390 g
  • බිත්තර 03
  • වතුර කෝප්ප ½
  • සීනි 80 g
  • වැනිලා තේ හැඳි 01

සාදන ආකාරය:

  • කැරමල් සෑදීම සඳහා පැතලි ඝන පෑන් එකක් ගෙන එයට සීනි දමා ගන්න.
  • සීනි ආවරණය වන මට්ටම තෙක් ජලය දමා ගන්න.
  • මද ගින්දරේ සීනි දියවන තෙක් හැඳි ගාමින් කලවම් කරන්න.
  • මිනිත්තු 02 - 03 ක දී සීනි සියල්ල දියවී යනවා. එවිට හැඳි ගාන එක නවත්වන්න.
  • සීනි දුඹුරු පැහැ ගැන්වී ඇලෙන ගතිය ට පැමිණෙන තෙක් විටින් විට භාජනය වටේට කරකවින් පැණි ටික කලවම් කර ගන්න.
  • නියම පදමට සීනි පැමිණෙන තෙක් මේ ආකාරයට කරන්න.
  • මිනිත්තු 08 - 10 අතර කාලයේදී සීනි වල පාට වෙනස් වීමට පටන් ගන්නවා.
  • මිනිත්තු 12 - 14 පමණ ගතවන විට කැරමල් එක නියම පදමට පැමිණෙනවා.
  • දැන් වහාම ලිප නිවා දමන්න. කැරමල් එක වැඩිය රතු උනොත් පොඩි තිත්ත ගතියක් එනවා.
  • Pudding mould එකකට මෙම මිශ්‍රණය දමා මේ පැණි ටික pudding mould එක වටේටම ගෑවෙන ලෙස හොඳින් වටේට කරකවන්න. . නිවෙන්නට හරින්න. එසේ කිරීමෙන් caramel අච්චුව පුරා පැතිර ගොස් පුඩින් එක ඉතා පහසුවෙන් ඉවත් කළ හැකි වෙනවා.
  • ඊළඟ පියවර වන්නේ කස්ටඩ් සාදා ගැනීමයි. එය සඳහා බිත්තර භාජනයකට දමා බීට් කරගන්න.
  • එයට උකු කිරි එකතු කර කලවම් කර ගන්න.
  • බිත්තර සහ උකු කිරි හොඳින් කලවම් වූවාට පසු වැනිලා එකතු කරමින් හොඳින් මිශ්‍ර කරගන්න.
  • කස්ටඩ් ටික pudding mould එකට දමාගන්න. මෙසේ දමන විට එය තේ පෙරණයක් ආධාරයෙන් පෙරා ගන්න. එසේ කිරීමෙන් කලවම් නොවූ බිත්තර කැබලි අපට ඉවත්කර ගැනීමට පුළුවන් වෙනවා.
  • හොදින් සීල් වෙන ආකාරයට ඇලුමිනියම් ෆොයිල් එකකින් pudding mould එක වසාගන්න.
  • අවන් එකක් හෝ ස්ටීමරයක් ආධාරයෙන් පුළුස්සා ගන්න.
  • ඔබ ස්ටීමරයක් ආධාරයෙන් පුළුස්සා ගන්නේ නම් ජලය හොඳින් රත් වූවාට පසු පුඩින් එක තබා මද ගින්දරේ මිනිත්තු 20 පමන ස්ටීම් කර ගන්න.
  • මිනිත්තු 20 ගත වුවාට පසු toothpick එකක් දමා එහි තත්ත්වය පරික්ෂා කර බලන්න. Toothpick එකේ පුඩින් ඇලෙන්නේ නැති නම් එය නියම පදමට ඇවිත් තිබෙනවා. එසේ නොමැතිව toothpick එකේ පුඩින් ඇලෙනව නම් තවත් මිනිත්තු කිහිපයක් එය තම්බා ගත යුතු වෙනවා.
  • පුඩින් එක සම්පූර්ණයෙන් නිවුන පසු පැය 04 - 05 ශීතකරණයේ තබන්න.
  • ඉන්පසු ශිතකරණයෙන් ඉවතට ගෙන mould එක වටේට පිහි තුඩක් යවා එය බුරුල් කර කරගන්න .
  • Mould එකෙන් ඉවතට ගෙන පුඩින් එක පිඟානක් මතට දමා ගන්න.
  • ඔබට මෙය දවස් කිහිපයක් වුවත් ශීතකරණයේ තබා ආහාරයට ගත හැකි වෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to