ඇමෙරිකන් කේක් එකක රස බලමුද?

බොස්ටන් ක්‍රීම් පයි කියන්නේ පේස්ට්‍රි ක්‍රීම් එකක් මැදි උන රසම රස කේක් එකක්. බොස්ටන් වල තියන පාකර් හවුස් කියන හෝටලයේ තමයි මේ කේක් එක මුලින්ම හදලා තියෙන්නේ. දැන් මේ කේක් එක මුළු ලෝකයේම ජනප්‍රිය උන රසම රස ටිකක් වෙනස් විදිහේ කේක් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය:කේක් බැටර් එක සදහා

  • පාන් පිටි - 190g
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි 1/4
  • ලුනු රහිත බටර් - 120g
  • සීනි - 150g
  • ලොකු බිත්තර - 03
  • වැනිලා - තේ හැඳි 01
  • ෆ්‍රෙෂ් මිල්ක් - 120ml

අවශ්‍ය ද්‍රව්‍ය:පේස්ට්‍රි ක්‍රීම් එක සදහා

  • ෆ්‍රෙෂ් මිල්ක් - 360ml
  • ලුනු - තේ හැඳි 1/4
  • ලොකු බිත්තර කහ මද - 02
  • සීනි - 50g
  • කොර්න් පිටි - 25g
  • පාන් පිටි - මේස හැඳි 01
  • වැනිලා - තේ හැඳි 01
  • ලුනු රහිත බටර් - 15g

අවශ්‍ය ද්‍රව්‍ය:චොක්ලට් මිශ්‍රණය සදහා

  • චොක්ලට් - 100g
  • විපින් ක්‍රීම් - 50g

සාදන ක්‍රමය:

  • මුලින්ම පේස්ට්‍රි ක්‍රීම් එක හදා ගන්න බිත්තර කහ මද ටිකයි, සීනියි, ලුනුයි එකට දාලා ක්‍රීම් ගතියට එනකන් කලවම් කරන්න. මේ ටික හොඳට කලවම් උනහම කහ පාට ගතිය අඩු වෙලා ගිහින් ලා පාට වෙලා එනවා. දැන් මේකට කොර්න් පිටියි, පාන් පිටියි දාලා කලවම් කරන්න. ඊළගට කිරි 60ml විතර ප්‍රමාණයක් මේ මිශ්‍රනයටම දාලා කලවම් කරන්න.
  • ඉතුරු 300ml ලිපේ තියලා ටිකක් වෙලා රත් කර ගන්න. මේ රත් කර ගත්ත කිරි ටිකට කලින් හදා ගත්ත පිටි මිශ්‍රණය දා ගන්න. දැන් මේ පේස්ට්‍රි ක්‍රීම් එක ටිකක් ඝනකම් වෙනකන් ලිපේ තියලා අඩු ගින්දරේ දිගටම හැඳි ගාන්න.
  • පේස්ට්‍රි ක්‍රීම් එක ලිපෙන් බා ගත්තාට පස්සේ මේකට වැනිලා ටිකයි බටර් ටිකයි දාලා කලවම් කරන්න. දැන් මේක වෙනමම බෝල් එකකට දාලා වහලා පැත්තකින් තියා ගන්න. ඔයාලා කේක් එක හදන්න ටිකක් පරක්කු වෙනවා නම් මේක ෆ්‍රිජ් එකේ දාලා තියන්න.
  • දැන් කේක් බැටර් එක හදා ගන්න බටර් ටිකයි සීනි ටිකයි එකට දාලා හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න. මේ මිශ්‍රණයට බිත්තර එකින් එක දාන ගමන් හොඳට බීට් කරන්න. ඊළගට වැනිලා ටික දා ගන්න.
  • පිටියි, ලුනුයි, බේකින් පවුඩර් ටිකයි එකට කලවම් කරලා බිත්තර මිශ්‍රණයට දා ගන්න. පිටි ටික හොඳට කලවම් උනාට පස්සේ කිරි ටික එකතු කරන්න.
  • දැන් මේ කේක් එක බේකින් ට්‍රේ එකකට දාලා 180C කට ප්‍රී හීට් කරපු අවන් එකේ විනාඩි 35-40 විතර බේක් කර ගන්න.
  • බේක් උනාට පස්සේ කේක් එක නිමෙන්න තියලා කේක් එක මැද්දෙන් හරස් අතට කෑලි දෙකකට කේක් එක කපා ගන්න.
  • දැන් අපි කලින් හදා ගත්ත පේස්ට්‍රි ක්‍රීම් එක කේක් එක මැද්දෙන් හොඳට තවරා ගෙන අනිත් කේක් කෑල්ල මේකට උඩින් තියා ගන්න.
  • කේක් එක උඩට දාන චොක්ලට් මිශ්‍රණය හදා ගන්න විපින් ක්‍රීම් ටික පොඩ්ඩක් රත් කරලා චොක්ලට් ටික ඒකත් එක්ක දිය කර ගන්න. දැන් මේ චොක්ලට් මිශ්‍රණය කේක් එක උඩින් තවරා ගන්න.
  • කේක් එක ටිකක් සෙට් වෙනකන් තියලා රස බලන්න.
Boston Cream Pie
Boston Cream Pie
Boston Cream Pie
Piece of Boston Cream Pie
Closeup view of Boston Cream Pie
Boston Cream Pie

Contact DailyLife.lk

or drop an E-Mail to