කෙසෙල් වලින් රස පුඩිමක්

කෙසෙල් දාලා හදා ගන්න කැරමල් පුඩිං එක ඕනේම අවස්ථාවකට ගැලපෙන රසම රස අතුරුපසක්. මේ පුඩිං හරිම ලේසියෙන් හරිම පොඩි දේවල් ටිකකින් හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • උකු කිරි - 390g
  • බිත්තර - 04
  • කෙසෙල් ගෙඩි - 04
  • වතුර - කෝප්ප 1/4
  • සීනි - 80g
  • වැනිලා - තේ හැඳි 01
  • නැවුම් කිරි - 250ml

සාදන ක්‍රමය:

  • පුඩිං එකට දාන කැරමල් එක හදා ගන්න, අඩිය ඝනකම් පැතලි පෑන් එකක් අරගෙන ඒකට සීනි ටික දාගන්න. දැන් මේ සීනි ටික වැහෙන මට්ටමට එනකන් වතුර පොඩ්ඩක් දාගන්න. සීනි ටික මේ වතුර ටිකත් එක්ක දිය වෙනකන් මද ගින්දරේ හැඳි ගාන්න. විනාඩි 02ක් 03ක් විතර යනකොට මේ සීනි ටික ඔක්කොම දිය වෙනවා. එතකොට හැඳි ගාන එක නතර කරන්න.
  • දැන් මේ සීනි ටික හොඳට කලවම් වෙන්න පෑන් එක වටේට කරකවන්න. ටික වෙලාවක් භාජනේ ලිපේ තියන්න. ආයෙත් අරගෙන කරකවන්න. විනාඩි 8ක් 10ක් විතර යනකොට පැණි එකේ පාට වෙනස් වෙන්න පටන් ගන්නවා.
  • කැරමල් එක තද පාට වෙලා ඇලෙන ගතියට එනකම් මේ විදිහට සැරින් සැරේ කරකවන්න. කැරමල් එක හරි පදමට එන්න විනාඩි 12ක් 14ක් විතර යනවා. කැරමල් එක පදමට ආවහම ඉක්මනින් ලිප නිමන්න. කැරමල් එක මේ මට්ටමට වඩා උණු උනොත් කැරමල් එක තිත්ත රස වෙනවා.
  • දැන් මේ කැරමල් එක ඉක්මනින් පුඩිං එක හදා ගන්න මෝල්ඩ් එකට දාලා මෝල්ඩ් එක වටේම කැරමල් ටික ගෑවෙන්න කරකවන්න. දැන් මෝල්ඩ් එක නිමෙන්න තියන්න. මේ විදිහට මෝල්ඩ් එක වටේටම කැරමල් ගෑඋනහම පුඩිං එක මෝල්ඩ් එකෙන් ගලවාගන්න හරිම ලේසියි.
  • දැන් පුඩිං එකට ඕනේ කෙසෙල් ගෙඩි ටිකයි, උකු කිරි ටිකයි, බිත්තරෙයි, වැනිලා ටිකයි, නැවුම් කිරි ටිකයි ඔක්කොම එකට දාලා හොඳට බ්ලෙන්ඩර් කර ගන්න.
  • දැන් මේ බ්ලෙන්ඩර් කර ගත්ත ටික හොඳට පෙරා ගන්න. එතකොට අපිට හොඳට බ්ලෙන්ඩර් උනේ නැති කෙසෙල් කෑලි එහෙම අයින් කර ගන්න පුළුවන්. පෙරා ගත්ත පුඩිං මිශ්‍රණය කලින් කැරමල් දාලා ලෑස්ති කර ගත්ත මෝල්ඩ් එකට දා ගන්න.
  • ස්ටීම් කරන්න කලින් මෝල්ඩ් එක ඇලුමිනියම් ෆොඉල් එකකින් හොඳට වහ ගන්න. නැත්නම් එහෙම මේ පුඩිං එක ස්ටීම් වෙනකොට ඇතුලට ජල වාෂ්ප වැටෙනවා.
  • දැන් භාජනයක් ඇතුලෙන් රැක් එකක් තියලා ඒ රැක් එකේ භාගයක් වැහෙන මට්ටමට එනකන් වතුර දාන්න. දැන් රැක් එක උඩින් පුඩිං මෝල්ඩ් එක තියලා මද ගින්දරේ මේ පුඩිං එක විනාඩි 40-45ක් විතර ස්ටීම් කර ගන්න.
  • ස්ටීම් කරලා ඉවර උනාට පස්සේ පුඩිං එකට ටූත් පික් එකක් ගහලා බලන්න. ටූත් පික් එකේ පුඩිං ගෑවිලා නැත්නම් මේක ස්ටීම් වෙලා ඇති. හැබැයි ටූත් පික් එකේ පුඩිං කෑලි ගෑවිලා නම් මේ පුඩිං එක තව ටිකක් වෙලා ස්ටීම් කර ගන්න ඕනේ.
  • පුඩිං එක ස්ටීම් වෙලා ඉවර උනාට පස්සේ පුඩිං එක හොඳටම නිමෙනකන් තියලා තියන්න. ඊළගට මේ පුඩිං එක හොඳට සෙට් වෙන්න පැය 04ක් 05ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
  • පුඩිං එක හොඳට සෙට් උනාට පස්සේ මෝල්ඩ් එකෙන් ගලවලා අනිත් පැත්ත හරවා ගන්න.
  • මේ පුඩිං එකේ ෆ්‍රිජ් එක තියාගෙන දවස් 03ක් 04ක් උනත් කන්න පුළුවන්.
Banana Caramel Pudding
Banana Caramel Pudding
Piece of Banana Caramel Pudding
Piece of Banana Caramel Pudding
Banana Caramel Pudding
Banana Caramel Pudding

Contact DailyLife.lk

or drop an E-Mail to