ශ්‍රී ලංකාවේ අවුරුදු කෑම

අවුරුදු කැවිලි කියන්නේ ලංකාවේ හැම ගෙදරකම වගේ සිංහල අලුත් අවුරුද්දට හදන කෑම වලට. මේ තියෙන්නේ අළුත් අවුරුදු කෑම මේසෙට අනිවාර්යෙන් ඕනේ කෑම ටිකක්.

1. පැණි පාටට රසට වැලිතලප

වැලි තලප එහෙමත් නැත්නම් සවු දොදොල් කියන්නේ අපි හරිම අසාවෙන් කන්න කැමති කෑමක්. මේ විදිහට වැලි තලප හැදුවොත් ඉක්මනින් නරක් වෙන්නේ නැතුව ටික දවසක් තියාගෙන කන්න පුළුවන් වැලි තලප ටිකක් හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කැකුළු හාල් පිටි - 500g
  • සීනි - 450g
  • පොල් කුඩු - 180g
  • උකු පොල් කිරි - කෝප්ප 01
  • කොටා ගත්ත කරදමුංගු ටිකක්
  • ලුණු - තේ හැඳි 02

සාදන ක්‍රමය:

  • පොල් කුඩු ටිකයි පිටි ටිකයි එකට දාලා පොඩි කැටි වගේ වෙනකන් කලවම් කර ගන්න.
  • මේ මිශ්රණේ වේලිලා වගේ තියනවානම් වතුර ටික ටික ඉහ ඉහ කැටි හදා ගන්න.
  • පොඩියට කැටි හදාගත්තට පස්සේ මේ ටික ස්ටීමර් එකකට දාගන්න. පිටි ටික ස්ටීමර් එකට දාද්දි තද වෙන්න දාන්න එපා. එතකොට මැද ටික තම්බෙනවා අඩු වෙනවා.
  • මේ පිටි ටික විනාඩි 35ක් 45ක් විතර ලිපේ තියලා හොඳට තම්බා ගන්න.
  • තම්බා ගෙන ඉවර උනාට පස්සේ අයෙත් මේ පිටි ටික හොඳට පොඩි කර ගන්න.
  • ඊළගට පැණි ටික හදා ගන්න ඕනේ. ඒකට ඉස්සෙල්ලාම සීනි ටිකක් තාච්චියකට දාලා හොඳට තද පාට වෙනකන් උණු කර ගන්න.
  • සීනි ටික හොඳට තද පාට වෙලා බුබුළු දානකොට ඒකට උණු වතුර ටිකක් දාගන්න.
  • දැන් ඉතුරු සීනි ටිකයි තව උණු වතුර ටිකකුයි දාගන්න.
  • සීනි ටික හොඳට දිය උනාට පස්සේ ලුණු ටිකයි පොල් කිරි ටිකයි දාන්න.
  • පොල් කිරි ටික හොඳට රත් වෙනකන් දිගටම හැඳි ගාන්න. මේ අතරතුරේදී කොටාගත්ත කරදමුංගු ටිකත් දාගන්න.
  • පැණි ටික හොඳට බුබුළු දාන්න පටන් ගත්තාට පස්සේ තම්බාගත්ත පිටි ටික දාන්න.
  • දැන් මේ පැණි ටික පිට්ටු ටිකත් එක්ක මිශ්‍ර වෙනකන් හොඳට කලවම් කරන්න.
  • වැලි තලප මිශ්‍රනේ වතුර ගතිය අඩු වෙලා ටිකක් ගුලි වෙන මට්ටමට ආවහම මේක ලිපෙන් බාගන්න.
  • දැන් අපි මේ ටික තැටියකට දාලා හොඳට පැතලි කර ගන්න ඕනේ.
  • පැතලි කර ගත්තට පස්සේ මේ වැලි තලප ටික ටිකක් වෙලා නිමෙන්න තියලා කෑලි වලට කපා ගන්න.

2. රසම රස අතිරස

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට තවත් සුවිශේෂී ස්ථානයක් හිමිකරගන්නා කෑමක් තමයි අති රස කියන්නේ. සෑම ශ්‍රී ලාංකික නිවසකින්ම අවුරුදු කාලයට අතිරස හදන සුවඳ එනවා. නිවැරදි පිළිවෙල අනුගමනය කරමින් අතිරස මිශ්‍රනය හදාගතහොත් හරිම පහසුවෙන් ම ඔබටත් අති රස හදා ගන්න පුළුවන් වෙනවා.

මේ සඳහා අවශ්‍ය කරනවා:

  • හාල් පිටි 500 g
  • සීනි 300 g
  • මහදුරු 25 g
  • ලුණු තේ හැඳි 02
  • කප්පි ( කැඩුණු කැකුළු සහල්)
  • පාන් පිටි ස්වල්පයක්
  • පොල් පැණි
  • ගැඹුරු තෙලේ බැදීමට අවශ්‍ය තෙල්

සාදන ආකාරය:

  • පළමුවෙන්ම කප්පි සාදා ගැනීම සඳහා කැඩුණු කැකුළු සහල් තාච්චියකට දමා රන්වන් පාට වන තුරු බැද ගන්න.
  • මහදුරු විනාඩියක් පමණ බැද ගෙන හොඳින් කුඩු කර ගන්න.
  • පැණි මිශ්‍රණය සාදා ගැනීමට සීනි ටිකක් තාච්චියකට දමා එය රන්වන් පැහැ ගැන්වී උකු වන තුරු මද ගින්දරේ රත්කරගන්න.
  • සීනි මිශ්‍රණය රන්වන් පැහැ ගැන්වූ පසු උණු වතුර කෝප්පයක් එයට එකතු කරගනිමින් හොඳින් මිශ්‍ර කරන්න.
  • මෙයට ඉතුරු සීනි ටික දමා හොදින් කලවම් කරන්න.
  • ලුණු කුඩු ද එකතු කරන්න.
  • සීනි ටික හැන්දකට අරන් පහලට වක්කල විට නුලක් වගේ පහලට ඇදෙන පදමට එනකන් සීනි ටික උණු කර ගන්න.
  • මිශ්‍රණයෙන් භාගයක් වෙනම කෝප්පයකට දමා පසෙකින් තබාගන්න. පිටි එකතු කිරීමේදී මෙය අපට ප්‍රයෝජනවත් වෙනවා.
  • පොල් පැණි එකතු කරමින් හොඳින් මිශ්‍ර කරන්න. මිනිත්තුවක් පමණ තබා ලිපෙන් බා ගන්න.
  • කප්පි සහ මහදුරු එකතු කරන්න.
  • පිටි ටිකෙන් ටික එකතු කර ගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න.
  • පාන් පිටි ස්වල්පයක් ද එකතු කරන්න.
  • ඇඟිලි තුඩු තබමින් පිටි මිශ්‍රනය නිවැරදි පදමට සැදුණා දැයි අපට දැනගත හැකි වෙනවා. නිවැරදි පදමට සෑදුනු පිටි මිශ්‍රණය අතේ ඇඟිලි වල ඇලෙන්නේ නැහැ.
  • දැන් මේ මිශ්‍රණය තච්චියෙන් එලියට ගෙන බෝර්ඩ් එකක් මතට බා ගන්න.
  • පිටි මිශ්‍රණයේ ම කුඩා වළක් සාදා ඒ මත තෙල් ස්වල්පයක් දමා එය ඇඟිලි තුඩු වල ගාගනිමින් මිශ්‍රණය කුඩා බෝල වලට කඩා ගන්න.
  • කෙසෙල් කොළයක් මත තෙල් ස්වල්පයක් තවරා ගෙන ඒ මතට කැවුම් බෝල තබා ඇඟිලි තුඩුවලින් බිස්කට් එකක් ආකාරයට සැදෙන පරිදි තලාගන්න.
  • තාච්චියක් ළිප තබා එයට තෙල් දමා මෙම කැවුම් එකිනෙක දමා ගනිමින් බැදගන්න.
  • එක කැවුමක් තාච්චියට දමා එය උඩට පැමිණෙන තෙක් දෙවෙනි කැවුම තාච්චියට නොදමන්න. එසේ නොවුනහොත් කැවුම් දෙකම එකට ඇලෙනවා.
  • කැවුම රන්වන් පාටට බැදුන පසු වට්ටියකට හෝ ටිෂු එකක් මතට බාගන්න.
  • මේ ආකාරයෙන් මුළු මිශ්‍රණයෙන් ම කැවුම් සාදා ගන්න.
  • භාජනයක කැවුම් අසුරන විට අඩියට පීරිසියක් අනිත් පැත්ත හරවා නමන්න. අතිරස කැවුම් වල තෙල් අධික බැවින් එසේ කිරීමේ දී කැවුම් වල ඇති තෙල් පීරිසිය අඩියේ තැන්පත් වෙනවා .

3. අලුවා හදමු

අලුත් අවුරුදු මේසයේ වැඩි අවධානයක් යොමු වන තවත් කෑමක් තමයි අලුවා කියන්නේ. අලුවා කියන්නේ පිටිවලින් සාදන තවත් ශ්‍රී ලාංකික සම්ප්‍රදායික ආහාරයක්. අද අපි කියලා දෙන්න යන්නේ අලුවා හදන ආකාරය යි. මේ විදිහට අලුවා හදල ඔයාලත් ඔයාලගේ අවුරුදු මේසේ ලස්සනට සරසා ගන්නකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හාල් පිටි 500g
  • සීනි 300g
  • කිරි
  • කජු
  • කරද මුංගු
  • වතුර කෝප්ප 01

සාදන ආකාරය:

  • මේ සඳහා අවශ්‍ය හාල්පිටි ඔබට ගෙදරදීම සාදා ගන්න හැකියාව තිබෙනවා. පෙරදින රාත්‍රියේ හාල් පෙඟෙන්නට දමා පසුදින උදේ හොඳින් සෝදා ගරා කිරි ගොට්ටකට දමා ටික වේලාවක් තබා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් කොටා ගන්න.
  • මධ්‍යම ප්‍රමාණයට ගින්දර දමාගනිමින් හාල් පිටි ටික හොඳින් බැදගන්න. හාල්පිටි කුඩා දූවිලි වැලි වගේ වෙනකම් බැදගන්න.
  • පිටි ටික පෙනේරයක් ආධාරයෙන් හලාගන්න.
  • කරද මුංගු හොඳින් කොටාගෙන කජු ටික සිහින්ව කපාගන්න.
  • වතුර සහ සීනි තාච්චියකට දමා හොඳින් රත් කර ගන්න. එයට ලුණු කුඩු එකතු කරන්න.
  • මෙහිදී සාමාන්‍ය ප්‍රමාණයකට ගින්දර දමා ගන්න. නියම පදම ගන්න මිනිත්තු 10 - 12 ගතවෙනවා.
  • හැන්දට මෙම මිශ්‍රණයෙන් ටිකක් අරගෙන ඉහලට ඔසවා නැවතත් භාජනයටම වක්කරන්න. එහිදී නූලක් ආකාරයෙන් සීනි මිශ්‍රණය වැටෙනවනම් නියම පදමට පැමිණිලා තිබෙනවා.
  • භාජනය ලිපෙන් ඉවතට ගෙන මිශ්‍රණයෙන් භාගයක් වෙනම කෝප්පයකට දමා පසෙකින් තබාගන්න. පිටි එකතු කිරීමේ දී පසුව අපට මෙය ප්‍රයෝජනවත් වෙනවා.
  • සීනි මිශ්‍රණයට කරදමුංගු සහ කජු එකතු කරන්න. කලවම් කරන්න.
  • කිරි ටිකද එකතු කර හොඳින් කලවම් කරන්න.
  • මිශ්‍රණයට හාල්පිටි ටිකෙන් ටික එකතු කරමින් හොඳින් මිශ්‍ර කරන්න. මෙහිදී එකවර හාල් පිටි මිශ්‍රණයට නොදමන්න.
  • පිටි එකතු කිරීමේදී මිශ්‍රණය ඝන වූවානම් අප පසකින් තබා ගත් සීනි මිශ්‍රණය මේ සඳහා යොදා ගන්න පුළුවන් වෙනවා.
  • අතේ නොඇලෙන ප්‍රමාණයට මෙලෙක් ගුලියක් ආකාරයෙන් මෙය සකස් කරගත් පසු බන්දේසියක ට දමාගන්න .
  • මෙහිදී පිටි මිශ්‍රණය බන්දේසියට දමා ගැනීමට පෙර බන්දේසිය මත බැදගත් හාල් පිටි අතුරන්න.
  • හොඳින් මෙය බන්දේසිය මත තුනී කර අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය හැඩයට කෑලි කපාගන්න.
  • කෑලි කපා ගැනීමට පෙරද මිශ්‍රණය මතට බැදගත් හාල් පිටි සුළු ප්‍රමාණයක් ඉසින්න.
  • නිවෙන්නට හැර කෑලි වෙන්කර ගන්න.
  • මෙය ඉක්මනින් ඝන වන නිසා බන්දේසියක දමා ඉක්මනින් කෑලි කපා ගැනීමට අමතක කරන්න එපා.

4. රසට මෙලෙකට මුං කැවුම්

මුං කැවුම් එහෙමත් නැතිනම් මුං ඇට කැවුම් කියලා කියන්නේ අවුරුදු කාලෙට හදන තවත් සම්ප්‍රදායික කෑම වර්ගයක්. නිවැරදි ආකාරයට මුං ඇට පිටි මිශ්‍රණයක් සාදා ගත්තොත් හදන්න ඉතාමත් පහසු ආහාරයක් තමයි මං ඇට කැවුම්. ඔයාලත් ගෙදරදි මේ විදිහට මුං ඇට කැවුම් හදලා බලන්නකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බැදගත් මුං ඇට පිටි - 250 g
  • හාල් පිටි - 250 g ( බැටර් එක සාදා ගැනීම සඳහා)
  • හාල් පිටි - 200 g ( මුං ඇට පිටි සමඟ මිශ්‍ර කිරීමට)
  • හාල් පිටි - 200 g (උඩට ඉසීමට)
  • පාන් පිටි- 100 g
  • සීනි - 250 g
  • පොල් පැණි කෝප්ප ½
  • බිත්තර 01
  • ලුණු තේ හැඳි 02
  • පොල් කිරි කෝප්ප 02
  • ගැඹුරු තෙලේ බැඳ ගැනීමට අවශ්‍ය තෙල්

සාදන ආකාරය:

  • බැටර් එක සාදා ගැනීම සඳහා අවශ්‍ය හාල්පිටි මිනිත්තු 03 පමණ බැදගන්න.
  • මුං ඇට පිටි සමඟ කළවම් කිරීමට අවශ්‍ය හාල්පිටි මිනිත්තු 02 පමණ බැදගන්න.
  • පත් පැණි සාදා ගැනීම සඳහා සීනි ස්වල්පයක් තාච්චියකට දමා අඩු ගින්දරේ රත් වෙන්න හරින්න. නොනවත්වා හැඳි ගාන්න.
  • සීනි තද දුඹුරු පැහැ ගැන්වුවාට පසු උණු වතුර කෝප්පයක් එයට එක් කරන්න.
  • ඉතුරු සීනි ටික ද එයට එක්කර ලුණු තේ හැන්දක් සහ වතුර කෝප්පයකට එක් කරන්න.
  • සීනි දියවනතුරු අඩු ගින්දරේ හොඳින් හැඳිගාමින් පිසගන්න.
  • නියම පදම ඇවිත් දැයි බලා ගැනීම සඳහා හැන්දට මිශ්‍රණයෙන් ටිකක් අරගෙන එය ඉහළ සිට පහළට වත් කරන්න. ගණ නූලක් සේ එය පහලට වැටෙනවා නම් නියම පදම ඇවිත් තිබෙනවා.
  • මිශ්‍රණයෙන් කොටසක් කෝප්පයකට ගෙන පසෙකින් තබාගන්න.
  • ඉතිරි මිශ්‍රණයට පොල් පැණි එකතු කර මිනිත්තු 01 - 02 පිසගන්න.
  • මිශ්‍රණයට බැඳගත් මුං ඇට පිටි එකතු කරන්න.
  • හාල්පිටි ද එක්කරමින් හොඳින් මිශ්‍ර කරගන්න.
  • පාන් පිටි එක් කර එය හොඳින් මිශ්‍ර කරන්න.
  • මිශ්‍රනය නියමාකාරයට පැමිණ ඇත්දැයි බැලීමට ඇඟිලි තුඩුවලින් එය ගුලි කර බලන්න. එය ඇඟිලිවල නොඇලේ නම් නියම පදම ඇවිත් තිබෙනවා.
  • බන්දේසියක් ගෙන බැදගත් හාල් පිටි එහි අතුරන්න.
  • මිශ්‍රනය බන්දේසිය මත දමා ගන්න.
  • බන්දේසිය මත මිශ්‍රණය තුනී කර එය මතුපිටට බැදගත් හාල් පිටි ඉසින්න.
  • Diamond හැඩයට කැවුම් කපාගන්න.
  • බැටර් එක සාදා ගැනීම සඳහා බිත්තරයක් එයට ලුණු කුඩු ස්වල්පයක් සහ පොල් කිරි එකතු කර මිශ්‍ර කරගන්න.
  • මෙයට හාල්පිටි ටිකෙන් ටික එකතු කරගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න. මේ සදහා පාන් පිටි ස්වල්පයක් ද ඔබට එක් කරන්නට පුළුවන් වෙනවා.
  • මේ ආකාරයට ඝනකම් බැටර් එකක් සාදාගන්න.
  • සමහරු මේ බැටර් එක සඳහා කහ කුඩු ද එක් කරනවා. එයින් කැවුම් සඳහා අතිරේක ලස්සනක් ගෙන දෙනවා. ඔබටත් අවශ්‍ය නම් බැටර් එකට කහ කුඩු තේ හැන්දක් එක් කරන්න.
  • තාචිචියකට තෙල් දමා තෙල් ටික හොඳින් රත් කර ගන්න.
  • තෙල් රත් වූවාට පසු කපාගත් කැවුම් බැටර් එකේ පොඟවා තෙල් තාච්චියට දමන්න.
  • කැවුම් රන්වන් පාටට බැදුන පසු තෙල් තාච්චියෙන් ඉවතට ගෙන ටිෂූ එකක් මතට හෝ වට්ටියකට දමාගන්න.
  • මේ ආකාරයට සියලුම කැවුම් බැදගන්න. නිවුණ පසු සුළං නොවදින භාජනයක අසුරා තබන්න.

5. රසට නාරං කැවුම් හදමු

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජනප්‍රිය අවුරුදු කෑමක් තමයි නාරං කැවුම් එහෙමත් නැතිනම් පොල් කැවුම් කියලා කියන්නේ. ගෙදරදීම ඔයාලා නාරං කැවුම් හදලා රස කොහොමද කියල බලන්නකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය -කැවුම් මිශ්‍රණය සඳහා

  • සීනි 350 g
  • හාල් පිටි 500 g
  • ලුණු කුඩු තේ හැඳි 02
  • ගාගත් පොල් ගෙඩි 01

අවශ්‍ය ද්‍රව්‍ය - බැටර් එක සාදා ගැනීම සඳහා

  • බිත්තර 01
  • ලුණු කුඩු තේ හැදි 01
  • හාල් පිටි 250 g
  • පොල් කිරි කෝප්ප 02
  • පාන් පිටි 50 g

සාදන ආකාරය:

  • ගා ගත් පොල් සමග හාල් පිටි මිශ්‍ර කරන්න. පිට්ටු සෑදීමට සාදන ආකාරයට කුඩා කැට සෑදෙන පරිදි මෙම මිශ්‍රණය වතුර ස්වල්පය බැගින් එක් කරමින් කැට සාදාගන්න.
  • මෙම මිශ්‍රණය ස්ටීමරයක දමා මිනිත්තු 45 පමණ තම්බා ගන්න. එසේ තම්බා ගැනීමෙන් නාරං කැවුම් වැඩි දවසක් තබා ගැනීමට හැකි වෙනවා.
  • හොඳින් තැම්බූ පිටි මිශ්‍රනය නැවතත් කුඩා කැට බවට පත්කරගන්න.
  • සීනි ටිකක් ගෙන තාච්චියකට දමා මද ගින්දරේ හොඳින් රත්කර ගන්න.
  • එය දුඹුරු පැහැ ගැන්වී බුබුළු දමන තත්ත්වයට පැමිණි පසු උණු වතුර ස්වල්පයක් එක්කර ගන්න.
  • ඉතුරු සීනි ටිකද මෙයට දමා මිනිත්තු 05 පමණ හොඳින් පිසගන්න.
  • කලින් සකසා ගත් පොල් මිශ්‍රණය පැණි එකට එකතු කරන්න.
  • හොඳින් පැණි පොල් මිශ්‍රණය සෑදෙන තෙක් මිනිත්තු 10 - 15 පිසගන්න.
  • මිශ්‍රණය නියම පදමට ආවාට පසු බන්දේසියක් මත දමා ගන්න. අතින් බෝල සාදා ගැනීමට හැකිවන තෙක් එය නිවෙන්නට සලස්වන්න.
  • මෙම මිශ්‍රණයෙන් සාමාන්‍ය ප්‍රමාණයේ කැවුම් බෝල සාදාගන්න.
  • කැවුම් බෝල සියල්ල සාදා ගත් පසු අපට බැටරය සාදා ගැනීම අවශ්‍ය වෙනවා.
  • ඒ සඳහා බිත්තර , පොල් කිරි , ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • හාල් පිටි මිශ්‍රණයද එකතු කරගනිමින් හොඳින් කලවම් කරන්න.
  • පාන් පිටි ස්වල්පයක් ද මිශ්‍රණයට එකතු කරන්න.
  • ඝන බැටර් එකක් සෑදෙන ආකාරයට සියල්ල හොඳින් මිශ්‍ර කරන්න.
  • සමහරු මෙම මිශ්‍රණය සඳහා කහ ස්වල්පයක් ද යොදා ගන්නවා. එයින් කැවුම් වලට අතිරේක ලස්සනක් එකතු වෙනවා. ඔබත් කැමැති නම් මිශ්‍රණයට කහ තේ හැන්දක් එකතු කරන්න.
  • තාච්චියකට තෙල් දමා තෙල් ටික හොඳින් රත් උනාට පසු, සාදාගත් කැවුම්වල බැටර් එක තවරා ගැඹුරු තෙලේ බැදගන්න.
  • කැවුම් රන්වන් පැහැයට බැදෙන විට එය වට්ටියකට හෝ ටිෂු එකකට බාගන්න.
  • සියලුම කැවුම් මේ ආකාරයට බැඳගන්න.

6. ඉතුරු බත් වලින් අග්ගලා

අග්ගලා කියන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ තවත් රසවත් ආහාරයක්. විවිධ ආකාරයට අග්ගලා හදාගන්න පුළුවන්. ඉවතලන බත් වේලලා කුඩු කර ඒ කුඩු වලින් අග්ගලා හදාගන්න එක එක් ක්‍රමයක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හාල්පිටි 250g
  • ගාගත් පොල් කෝප්ප ½
  • පොල් පැණි කෝප්ප ½
  • ගම්බිරිස් කුඩු තේ හැඳි ½
  • ලුණු කුඩු රස අනුව

සාදන ආකාරය:

  • පොල් පැණි සමග ලුණු කුඩු මිශ්‍ර කරන්න.
  • හාල් පිටි වලින් ටිකක් තබාගෙන ඉතුරු පිටිවලට ගම්බිරිස් කුඩු එකතු කර කලවම් කරන්න.
  • ගාගත් පොල් කුඩු සෝස් පෑන් එකකට දමා මදගින්නේ මිනිත්තු 02 ක් පමණ වියළි ස්වභාවයට පැමිණෙන තුරු රත්කරගන්න. එසේ කිරීමෙන් පොල්වල ඇති වතුර ගතිය ඉවත් වී අග්ගලා දවස් දෙක තුනක් තබා ගැනීමට හැකියාව තිබෙනවා.
  • සෝස් පෑන් එකට පොල් පැණි දමා පොල් මිශ්‍රණය එයට එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
  • පැණි පොල් මිශ්‍රණය හොදින් බුබුළු දමනවිට ලිප නිවා දමා එයට පිටි එකතු කරන්න.
  • හාල්පිටි ටිකෙන් ටික දමමින් පැණි පොල් සමඟ හොඳින් මිශ්‍ර කරන්න.
  • මෙසේ සකස් කරගත් මිශ්‍රණයෙන් අග්ගලා ගුලි සාදා ගන්න. අග්ගලා ගුලි මතුපිට හාල් පිටි ස්වල්පයක් තවරන්න.

7. නියම රසට කිරිබත් හදමු

ලංකාවේ අපි හරිම අසාවෙන් කන්න කැමති දෙයක් තමයි මේ කිරිබත්. ගොඩක්ම උදේ කෑම වෙලාවට හදන කිරිබත් සුභ කටයුත්තකදිනම් වරදින්නෙම නැහැ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කැකුළු හාල් - 400g
  • උකු පොල් කිරි කෝප්ප - 02 1/2 , 03
  • ලුනු - තේ හැඳි 02
  • වතුර කෝප්ප - 03/04

සාදන ක්‍රමය:

  • කැකුළු හාල් ටික හොඳට සෝදලා අරගෙන කිරිබත් උයන භාජනයට දා ගන්න.
  • මේ හාල් ටික වැහෙන මට්ටමට එනකන් වතුර දාලා බත් උයන විදිහටම මේ කැකුළු හාල් ටික උයා ගන්න.
  • මේ අතරේදී පොල් කිරි ටිකත් එක්ක ලුනු ටික කලවම් කර ගන්න.
  • කැකුළු හාල් ටික හොඳට ඉදුනාට පස්සේ මේකට පොල් කිරි ටික දාන්න.
  • පොල් කිරි ටික දාලා හොඳට කලවම් කරලා මද ගින්දරේ කිරිබත් ටික උයා ගන්න.
  • මේ කිරිබත් ටික ලිපෙන් බා ගන්න කන්ම සැරින් සැරේ හොඳට හැඳි ගාන්න. නැත්නම් මේක අඩිය අල්ලනවා.
  • කිරි ටික ඔක්කොම හිදිලා කිරිබත් ටික ගුලි වෙන මට්ටමට ආවහම මේක ලිපෙන් බා ගන්න.
  • දැන් මේ කිරිබත් ටික ලෑල්ලකට හරි ට්‍රේ එකකට හරි තුනී කරලා කෑලි වලට කපා ගන්න.

8. අවුරුද්දට අල කිරි ටොෆී

අල කිරි ටොෆී අපි හැමෝම වගේ කැමති හරිම රස කෑමක්. සාමාන්‍යයෙන් අල කන්න කැමති නැති කෙනෙක් උනත් මේ රසම රස අල ටොෆී එක නම් එපා කියන එකක් නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සීනි - 450g
  • තම්බාගත්ත අර්ථාපල් - 300g
  • වැනිලා - තේ හැඳි 01
  • උකු කිරි - 400g
  • කොටාගත්ත කරදමුංගු ටිකක්
  • බටර් - මේස හැඳි 1 ½

සාදන ක්‍රමය:

  • මුළින්ම තම්බාගත්ත අල ටික කෑලි හිටින්නේ නැති වෙනකන් හොඳට පොඩි කර ගන්න.
  • පොඩි කර ගත්ත අල ටිකට සීනි දාලා සීනි ටික දිය වෙනකන් මද ගින්දරේ හැඳි ගාන්න.
  • සීනි ටික හොඳට අලත් එක්ක දිය උනාට පස්සේ උකු කිරි ටික එකතු කරන්න.
  • උකු කිරි ටිකත් හොඳට කලවම් කරලා වැනිලා ටිකයි කරදමුංගු ටිකයි දාගන්න.
  • දැන් මේක අඩු ගින්දරේ දිගටම හැඳි ගාන්න.
  • අල ටොෆී මිශ්‍රණය ටිකක් ඝන වේගෙන එනකොට බටර් ටික දාලා කලවම් කර ගන්න. මේ වෙලාවේදී මේක හොඳට දිගටම හැඳි ගාන්න ඕනේ. නැත්නම් අඩිය අල්ලනවා.
  • මිශ්‍රණය හොඳට උණු වෙලා පදමට ආවාට පස්සේ මේක ලිපෙන් අර ගන්න. මිශ්‍රණය පදමට අවාහම මිශ්‍රණය තද වෙලා ටිකක් ගුලියක් වගේ වෙනවා.
  • දැන් මේක ට්‍රේ එකකට දාලා හොඳට පැතලි කර ගන්න.
  • මිශ්‍රණය මේ විදිහට ටිකක් නිමෙන්න තියලා කෑලි වලට කපා ගන්න. හැබැයි මේක ගොඩක් වෙලා නිමෙන්න තියන්න එපා. එහෙම උනොත් මේක ගොඩක් හයිය වෙලා ඔයාලාට කෑලි කපා ගන්න අමාරු වෙයි.
  • කෑලි කපා ගත්තට පස්සේ ටොෆී ටික හොඳට නිමෙන්න තියලා සුළං වදින්නේ නැති භාජනයක අසුරා ගන්න.

9. නියම පැණි රසට පොල් කේක් හදමු

බිබික්කන්, එහෙමත් නැත්නම් පොල් කේක් කියන මේ කේක් එක අවුරුදු කාලෙට නම් නැතුවම බැරි කෑමක්. එක පාරට බලපුවහම මේ කේක් එක ටිකක් නත්තල් කේක් එකක් වගේ. ඒ උනාට මේ කේක් එකට තියෙන්නේ ඒකටම ආවේනික උන වෙනමම රසයක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හීනියට ගාගත්ත පොල් - 250g
  • කිතුල් පැණි - 340ml
  • පාන් පිටි - 150g
  • බිත්තර - 03
  • කොටගත්ත කරාබු නැටි, කරදමුංගු, කුරුදු පොතු මිශ්‍රණය - තේ හැඳි 01
  • බේකින් පව්ඩර් - තේ හැඳි 01
  • කෑලි කපා ගත්ත රට ඉදි - 100g
  • කෑලි කපා ගත්ත කජු - 100g
  • වියළි මිදී - 50g
  • වැනිලා - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි 01

සාදන ක්‍රමය:

  • පැණි ටික පෑන් එකකට දාලා මද ගින්දරේ රත් කර ගන්න. මෙතැනදී ඔක්කොම පැණි ටික දාගන්න එපා. පැණි පොඩ්ඩක් ඉතුරු කර ගන්න. මේ ටික අපිට කේක් එක හදලා ඉවර උනහම ඕනේ කරනවා. මේ පොල් කේක් එක හදන්න කිතුල් පැණි වෙනුවට පොල් පැණි, සීනි, හකුරු එහෙමත් අර ගන්න පුළුවන්.
  • දැන් මේකට කොටාගත්ත කරදමුංගු මිශ්‍රණය හා ලුනු දාන්න.
  • පොල් ටික දාලා කලවම් කර ගන්න.
  • මේ පොල් පැණි ටික තෙත ගතිය තියෙද්දී ලිපෙන් බා ගන්න. පොල් පැණි ටික වේලිලා ගියොත් එහෙම කේක් එකත් ටිකක් වේලෙන්න බලනවා.
  • බිත්තර ටික බීට් කර ගන්න.
  • පිටි ටික බේකින් පව්ඩර් ටිකත් එක්ක කලවම් කර ගන්න. ඔයාලාගේ පිටි වල කැටි වගේ තියනවනම් පිටි ටික හොඳට හලලා අර ගන්න.
  • පොල් පැණි ටික හොඳට නිමුනාට පස්සේ බීට් කර ගත්ත බිත්තර ටික දාන්න. පොල් පැණි රස්නේ තියෙද්දී බිත්තර දාන්න එපා. එතකොට බිත්තර ටික ටිකක් කැටි වෙන්න බලනවා.
  • දැන් මේකට පිටි ටික දාලා කලවම් කර ගන්න. පිටි ටික දාගත්තාට පස්සේ අපේ කේක් එකේ පාට ටිකක් අඩු වෙනවා. ඔයාලට මේ කේක් එක හොඳටම තද පාටට ඕනේ නම් එහෙම පොල් පැණි හදද්දී සීනි ටිකක් කර කරලා අර ගන්න.
  • ඊළගට කජුයි, රට ඉදියි, වියළි මිදියි, වැනිලා ටිකයි දා ගන්න.
  • මේ ඔක්කොම ටික හොඳට කලවම් කර ගන්න.
  • දැන් මේ කේක් එක 180°C ක උෂ්ණත්වයක විනාඩි 45ක් විතර බේක් කර ගන්න.
  • කේක් එක බේක් වෙලා ඉවර උනාට පස්සේ අවන් එකෙන් එලියට අරගෙන අපි ඉතුරු කර ගත්ත පැණි ටික කේක් එක උඩින් ගාන්න. අපි මේ පැණි ටික ගාන්න ඕනේ කේක් එක රස්නෙට තියෙද්දී. එතකොට කේක් එකට පැණි ටික හොඳට උරා ගන්නවා.
  • දැන් මේ කේක් එක නිමෙන්න තියලා කෑලි වලට කපා ගන්න.

10. අවුරුද්දට මුං කිරිබත්

අවුරුද්දට හැමදාම හදන කිරිබත් එක වෙනුවට මුං ඇට ටිකක් එහෙම දාලා වෙනස් විදිහේ කිරිබත් ටිකක් හදමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සුදු කැකුළු හාල් - 400g
  • උකු පොල් කිරි කෝප්ප - 01 1/2 හෝ 03
  • ලුනු - තේ හැඳි 02
  • මුං ඇට - 125g
  • වතුර කෝප්ප - 04

සාදන ආකාරය:

  • මුං කිරිබත් හදද්දී මුං ඇට ටික කලින් දවසේ රෑ පොගන්න දාගන්න ඕනේ. එතකොට මේ මුං ඇට ටික හාල් ටිකත් එක්ක හොඳට ඉදෙනවා.
  • කලින් දවසේ රෑ පොගන්න දාගත්ත මුං ඇට ටික කිරිබත් උයන්න කලින් අරගෙන හොඳට සෝදා ගන්න.
  • දැන් මේ මුං ඇට ටිකයි, කැකුළු හාල් ටිකයි ඔයාලාගේ කිරිබත් උයන භාජනයට දාගන්න.
  • හාල් ටික වැහෙන මට්ටමට එනකන් වතුර දාලා සාමාන්‍යයෙන් බත් උයන විදිහට කිරිබත් ටික උයා ගන්න.
  • හාල් ටික ඉදෙනකන් ලුනු ටික පොල් කිරිත් එක්ක හොඳට කලවම් කර ගන්න.
  • කැකුළු හාල් ටික ඉදුනාට පස්සේ පොල් කිරි ටික එකතු කර ගන්න. පොල් කිරි ටික දාගත්තට පස්සේ මේක දිගටම හැඳි ගාන්න ඕනේ. නැත්නම් අඩිය අල්ලනවා.
  • පොල් කිරි ටික බත් වලට උරාගෙන බත් ටික එකට ඇලෙන මට්ටමට ආවාට පස්සේ කිරිබත් ටික ලිපෙන් බාගන්න. මෙතැනදී මුං ඇට ටිකත් හොඳට තැම්බිලා තියනවාද කියල බලන්න.
  • කිරිබත් ටික තැටියකට දාලා එක මට්ටමකට හදාගෙන පොඩ්ඩක් වෙලා නිමෙන්න තියලා කෑලි වලට කපා ගන්න.

11. අවුරුදු නැකතට හකුරු මිශ්‍ර කිරිබත්

ගොඩක් අය අවුරුදු නැකතට නිකන්ම කිරිබත් හදන්නේ නැතුව හකුරු මිශ්‍ර කිරිබත් ටිකක් හදනවනේ. මේ හකුරු සහ කජු මිශ්‍ර කිරිබත් එක මේ පාර අවුරුද්දට හොඳටම ගැලපේවි

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සුදු කාකුළු හාල් - 400g
  • වතුරු කෝප්ප - 04
  • වියළි මිදි - 30g
  • හීනියට ගාගත්ත හකුරු - 150g
  • උකු පොල් කිරි කෝප්ප - 2 1/2 , 03
  • කජු - 100g
  • ලුනු - තේ හැඳි 02

සාදන ආකාරය:

  • කැකුළු හාල් ටික වැහෙන මට්ටමට එනකන් වතුර දාලා සාමාන්‍ය බත් උයන විදිහට මේ හාල් ටික උයා ගන්න.
  • කැකුළු හාල් ටික ඉදීගෙන එනකොට පොල් කිරි ටික දාගන්න. පොල් කිරි දැම්මාට පස්සේ මේ කිරිබත් ටික ලිපෙන් බාගන්නකන්ම මද ගින්දරේ දිගටම හැඳි ගාන්න. නැත්නම් අඩිය අල්ලනවා.
  • ඊළගට හකුරුයි කජුයි වියළි මිදියි දාලා මේ ටික බත් එක්ක හොඳට කලවම් කර ගන්න. මේකට හකුරු ගනිද්දී හොඳ කිතුල් හකුරු ටිකක් හොයා ගන්න. එතකොට කිරිබත් ටික රසට එනවා.
  • පොල් කිරි ටික හොඳට බත් වලට උරාගෙන බත් ටික එකට ඇලෙන මට්ටමට ආවහම කිරිබත් ටික ලිපෙන් බාගන්න.
  • දැන් මේ කිරිබත් ටික හොඳට පැතලි කරගෙන ටිකක් වෙලා නිමෙන්න තියලා කෑලි වලට කපා ගන්න.

12. ටින් කිරි වලින් රුලං අළුවා

රුලං අළුවා අපි හැමෝම වගේ හරිම ආසාවෙන් කන කෑමක්. සාමාන්‍යයෙන් රුලං අළුවා හදන්නේ පොල් වලින්. හැබැයි ටින් කිරි දාලා හදන මේ රුලං අළුවා එක ඔයාලාට අළුත් අත්දැකීමක් වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • රුලං - 500g
  • ටින් කිරි - 390g
  • කජු - 50g
  • වතුර - ටින් කිරි ටින් එකෙන් 1/3
  • වැනිලා - තේ හැඳි 01
  • බටර් - 30g
  • සීනි - 75g
  • කොටාගත්ත කරදමුංගු ටිකක්

සාදන ක්‍රමය:

  • රුලං ටික හදලා දාගන්න තැටියට උඩින් රුලං ටිකක් දාලා ලෑස්ති කරලා තියා ගන්න.
  • ඊළගට රුලං ටික ටිකක් බැදගෙන නිමෙන්න තියන්න. රුලං ගොඩක් වෙලා බදින්න ඕනේ නෑ. ටිකක් රුලං සුවද එනකන් බැදුනහම ඇති.
  • බැදගත්තාට පස්සේ රුලං ටික නිමෙන්න තියන්න.
  • ටින් කිරි ටික ලිපේ තියලා ඒකට සීනියි වතුරයි දාගන්න.
  • ටින් කිරි ටික ටිකක් ඝන වෙනකන් මද ගින්දරේ කලවම් කරන්න. ටින් කිරි රත් උනහම හරි ඉක්මනට අඩිය අල්ලන නිසා දිගටම හැඳි ගාන්න.
  • ටින් කිරි ටික ඝන වේගෙන එනකොට මේකට කජුයි, කොටාගත්ත කරදමුංගු ටිකයි, වැනිලා ටිකයි දාගන්න.
  • මේ ටික හොඳට කලවම් කලාට පස්සේ බටර් ටික එකතු කරන්න.
  • බටර් ටික හොඳට ටින් කිරි ටිකත් එක්ක දිය උනාට පස්සේ බැදපු රුලං ටික දාගන්න.
  • රුලං ටික හොඳට ටින් කිරි ටිකත් එක්ක කලවම් වෙනකන් විනාඩි 02ක් 03ක් ලිපේ තියලා හොඳට කලවම් කරන්න.
  • දැන් මේ අළුවා ටික ට්‍රේ එකකට දාලා හොඳට පැතලි කර ගෙන කෑලි වලට කපා ගන්න.

13. රස පදමට විබර හදමු

විබර කිව්වහම සමහර අයටනම් මේක ටිකක් අලුත් කෑමක් වෙයි. අපි මේ විබර ටිකක් හදලා බලමු ඔයාලා මේ විබර වලට කැමතිද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කැකුළු හාල් පිටි - 500g
  • උකු පොල් කිරි - කෝප්ප 02
  • ලුණු - තේ හැඳි 02
  • බිත්තර - 01
  • සීනි
  • කලරින් බින්දු කීපයක්

සාදන ක්‍රමය:

  • විබර හදද්දී අපි ඉස්සෙල්ලාම පොඩ්ඩක්වත් කැටි හිටින්නේ නැති වෙන්න දෙතුන් පාරක් හාල් පිටි ටික හොඳට හලා ගන්න ඕනේ.
  • ඊළගට මේ හලා ගත්ත හාල් පිටි ටික තාච්චියකට දාලා පොඩ්ඩක් වෙලා බැද ගන්න.
  • දැන් පොල් කිරි ටිකට බිත්තරෙයි ලුනුයි දාලා හොඳට කලවම් කරන්න.
  • ඊළගට අපි කරන්න ඕනේ බැදගත්ත හාල් පිටි ටිකට පොල් කිරි ටික ටික දදා හොඳට අනා ගන්න එක. මේ පොල් කිරි ටික දාලා අනාගන්න ඕනේ හාල් පිටි වල රස්නේ තියෙද්දීමයි.
  • පිටි ටික සොෆ්ට් බෝලයක් වගේ වෙනකන් හොඳට අනා ගන්න.
  • දැන් මේ පිටි ටික විබර අච්චුවකට දාලා ලස්සන මල් රටා ටික හදාගන්න.
  • අනා ගත්ත පිටි ටික ටිකක් වෙලා තියනකොට වේලෙන්න බලනවා. එතකොට මේ පිටි ටික මල් හදාගන්න බැරුව කැඩෙනවා. ඒ වෙලාවට තව පොල් කිරි පොඩ්ඩක් දාලා අයෙත් පිටි ටික අනාගන්න.
  • දැන් මේ හදාගත්ත මල් ටික තෙල් වලට දාලා බැද ගන්න ඕනේ. තද රන්වන් පාට වෙනකන් මේ මල් රටා ටික බදින්න ඕනේ නෑ. ලාවට රන්වන් පාට උනහම ඇති.
  • ඔක්කොම රටා ටික බදගත්තාට පස්සේ මේ ටික සුළං වදින්නේ නැති විදිහට අසුරලා දවස් 05ක් 06ක් විතර තියලා තියන්න.
  • දවස් 05කට 06ට පස්සේ අපි මේ මල් රටා ටික ආයෙත් බැද ගන්න ඕනේ. දෙවෙනි පාර බැදගත්තට පස්සේ තමයි මේ විබර ටික ලස්සන වෙලා එන්නේ.
  • දැන් අපි විබර ටික උඩින් දාන පැණි ටික හදාගන්න ඕනේ. ඒකට සීනියි වතුරයි එකට දාලා සීනි ටික දිය වෙනකන් මද ගින්දරේ කලවම් කරන්න.
  • සීනි ටික දිය වේගෙන එනකොට ඔයාලා කැමති පාටකින් කලරින් බින්දු කීපයක් මේකට එකතු කරන්න.
  • දැන් මේ පැණි ටික පාඩම එනකන් කලවම් කරන්න.
  • හැන්දට පැණි ටිකක් අරන් වක්කලහම කැඩෙන්නේ නැතුව නූලක් වගේ පහලට අදෙනවානම් මේ පැණි ටික පදමට ඇවිත් තියෙන්නේ.
  • දැන් අපි බැදගත්ත විබර ටික උඩින් මේ පැණි ටික දාලා ලස්සන කර ගන්න.
  • මේ විබර ටික සුළං වදින්නේ නැතුව අසුරා ගත්තහම සතියක් දෙකක් උනත් තියා ගෙන කන්න පුළුවන්.

14. අලුත් අවුරුද්දට ඉඹුල් කිරිබත්

පැණි පොල් මදිවෙච්ච රසම රස ඉඹුල් කිරිබත් එක ඉස්සර අපේ ගම් වල නැතුවම බැරි කෑමක්. හරි පදමට හදා ගත්ත ඉඹුල් කිරිබත් ටිකක් කියන්නේ ඉතින් අදටත් දිව්‍ය බෝජන පරාදයි.

අවශ්‍ය ද්‍රව්‍ය: පැණි පොල්

  • ගා ගත්ත පොල් - 200g
  • සීනි - 150g
  • පැණි ටිකක්
  • කුඩු කරගත්ත කරදමුංගු ටිකක්
  • ලුනු ටිකක්
  • උණු වතුර - කෝප්ප ½

අවශ්‍ය ද්‍රව්‍ය: කිරිබත්

  • සුදු කැකුළු හාල් - 500g
  • උකු පොල් කිරි - කෝප්ප 03
  • ලුනු - තේ හැඳි 02
  • වතුර - කෝප්ප

සාදන ක්‍රමය:

  • ඉඹුල් කිරිබත් මැද්දට දාන පැණි පොල් ටික හදා ගන්න සීනි වලින් පොඩ්ඩක් පෑන් එකකට දා ගන්න. මේ සීනි ටික තද පාට වෙනකන් උණු කර ගන්න. හැබැයි මේ සීනි ටික ගොඩක් වෙලා ඕනෑවට වැඩිය උණු කරන්න එපා. එහෙම උනොත් එහෙම පැණි පොල් එක ටිකක් තිත්ත රස වෙනවා.
  • සීනි ටික තද පාටට ආවහම මේකට උණු වතුර ටිකක් දා ගන්න. සීනි ටිකක් මේ විදිහට උණු කරලා දාපුවහම පැණි පොල් ටික හොඳට තද පාටට ලස්සනට එනවා.
  • උණු වතුරත් එක්ක සීනි ටික හොඳට කලවම් උනාට පස්සේ මේකට කරදමුංගු ටිකයි ලුනු ටිකයි දාන්න.ඉතුරු සීනි ටිකයි පැණි ටිකයිත් දා ගන්න.
  • සීනි ටික උණු වෙලා හොඳට බුබුළු දාගෙන එනකොට ගා ගත්ත පොල් ටික දාලා කලවම් කර ගන්න.
  • දැන් මේ පැණි පොල් එකේ වැඩිපුර වතුර ගතිය හිදෙනකන් ටිකක් වෙලා තියලා ලිපෙන් බා ගන්න. පැණි පොල් ටික ගොඩක්ම වේලා ගන්න එපා. ටිකක් තෙත ගතියට බා ගන්න.
  • කිරිබත් ටික උයා ගන්න හෝදා ගත්ත කැකුළු හාල් ටික භාජනෙකට දාලා මේ හාල් ටික වැහෙන මට්ටමට එනකන් වතුර දාන්න. සාමාන්යෙන් බත් උයන විදිහටම මේ හාල් ටික උයා ගන්න.
  • හාල් ටික ඉදෙනකන් පොල් කිරි ටිකට ලුනු ටික දාලා දිය කර ගන්න. මේ විදිහට ලුනු ටික පොල් කිරිත් එක්ක දිය කරලා දාපුවහම හැම කිරිබත් කෑල්ලකටම එකම විදිහට ලුනු ගතිය හොඳට අල්ලනවා.
  • බත් ටික ඉදුනාට පස්සේ මේකට පොල් කිරි ටික දා ගන්න. මේ කිරිබත් ටික හැඳි ගාන ගමන් මද ගින්දරේ උයා ගන්න. කිරි ටික ඔක්කොම හිදිලා කිරිබත් ටික ගුලි වෙන මට්ටම ආවහම මේක ලිපෙන් බා ගන්න.
  • උයා ගත්ත කිරිබත් වලින් ටිකක් කොලපතකට හරි ඔයිල් පේපර් එකක් උඩට හරි දා ගෙන ටිකක් සමතලා කර ගන්න. මේ කිරිබත් ටික මැද්දෙන් පැණි පොල් ටිකක් තියා ගන්න. පැණි පොල් තියනකොට කිරිබත් ටික මැද්දෙන් හරහට පොඩි වලක් වගේ හදලා මේ ටික තියා ගන්න. එතකොට පැණි පොල් ටික හොඳට ඉඹුල් කිරිබත් ටික මැද්දට හිටිනවා.
  • දැන් මේ කිරිබත් ටික කොන් වලින් එකතු කරලා කොළපත හරහාට රෝල් කරන්න. කොළපතේ කොන් දෙකෙන් අල්ලලා ටොෆී එකක් ඔතන විදිහට දෙපැත්තට කරකවන්න.
  • දැන් මේ කොළපත දිග ඇරලා කිරිබත් ගුලිය කොළපත ඇතුලෙම ටිකක් වෙලා එහෙට මෙහෙට නලවන්න. එතකොට ඉඹුල් කිරිබත් එක හොඳ ලස්සනට හැඩ වෙලා එනවා.
  • ඔක්කොම කිරිබත් ටිකයි පැණි පොල් ටිකයි ඉවර වෙනකන් මේ විදිහට ඉඹුල් කිරිබත් ටික හදා ගන්න.
  • මේ අලුත් අවුරුද්දට ඔයාලත් මේ රසම රස ඉඹුල් කිරිබත් එක හදලා බලන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to